සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න


දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
.
.
ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස..

විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි.

ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් බුලත්සිංහලයන් විසින් පබඳින ලද රෝහණ වීරසිංහයන්ගේ මනරම් තනු නිර්මාණයෙන් ගායනයෙන් ද සුපෝෂිත වූ ‘මුතුකුඩ ඉහළන’ නැමැති පබැඳුම අතිශයින් සුවිශේෂ වූ විරහ ගීයක් ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. මක්නිසා ද මනරම් සංගීතයට මුසු වූ සුමියුරු කාව්‍යයක් මෙහි අන්තර්ගත බැවිනි.

සංකඩගල පුරවරයට ඇද වැටෙන වරුසාවකි. ඉහළෙන කුඩ මත අතුකැට සේ දිය බිඳු ඉතිරි කරමින් වර්ෂාව ඇද හැලෙයි. එවිට එය මුතු කුඩ ඉහළන මල් වරුසාවකි. වස්සානය දැනුවත් කරමින් වැහිළිහිණි යෝ අහසේ පියාඹති. වැස්සට මුවා වී කොතැනක හෝ සිටින මේ ගීයේ කථිකයා තමා ඉදිරියෙන් ඇදෙන රිය පෙරහර දෙස බලා සිටී. ඒ අතර ඔහු ඉදිරියෙන් ඇදෙන්නේ සුවිසල් රියකි. රිය කවුළුවෙන් ඔහුට එක්වරම ඇස ගැටෙන්නේ සුපුරුදු දෑසකි. ඒ එක්තරා අතීතයක ඔහු ව වශී කළ දෑසකි. ඔහු තම ජීවිතයේ වැඩියෙන් ම ආදරය කළ දෑසකි.

විදුලියක් ලෙස එක් වර ම ඇස් ගැටෙන ඒ දෑස, ඉගිළෙන රථයක් සමඟ ම ඔහුගෙන් ඈතට ඉගිළ යයි. ඒ දෑස සමඟ ලියවුණු ශෝචනීය ඉතිහාස කතාව එක්වර ම ඔහුගේ සිහියට නැඟෙයි. අනපේක්ෂිත මොහොතක ඔහු ගේ හදවත සසල වී යයි. ඒ නිසල වීම ලූෂන් බුලත් සිංහලයෝ තම සුපුරුදු ප්‍රතිභාව ඔස්සේ මනාව කැටයම් කරති. රසිකයා තුළ මේ ජවනිකාව චිත්ත රූප ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට රචකයා සමත් වේ.

“මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

මුතුකුඩ ඉහළන්නට මේ වරුසාව මල් වරුසාවක් වුව ද ඔහුට නම් මෙය කඳුළු වරුසාවක් ම ය. ඔහුගේ හදවත මෙන් ම අවට පරිසරය ද අඳුරු වී තිබේ. වැහි අඳුර ළා හිරු එළියක් ද සමඟ මිශ්‍රවෙයි. එවිට වීදිය දිගේ දියදහරා ගලා බසින්නේ දේදුනු පැහැයෙනි. අතීතයේ මිහිරි මතකයන් ගෙන් තාමත් ඔහුගේ හදවත හැඟීම්බර ව මෙන් ම සෞන්දර්යාත්මක ව ස්පන්දනය වන බව හැඟී යයි. රචකයා ගේ භාෂා භාවිතයේ පිරිපුන් බව පද රචනාවක් ද නිරන්තරයෙන් ඉස්මතු වෙයි. ජනශ්‍රැතියේ උකහා ගත් ‘අඳුරු ලලා’ වැනි යෙදුම් සමඟ පාරිසරික සංකේත ඔස්සේ මේ තරුණයා ගේ මනෝභාවයන් සංකේතවත් වේ.

අතීතයේ දවසක මෙබඳු ම වරුසාවක් සෙංකඩගල පුරයට ඇද වැටෙද්දී මේ වීදිය දිගේ ඇවිද ගිය ආකාරය ඔහුට සිහිපත් වේ. එදා ඔහු ඇවිද ගියේ තනි ව නොව, දැන් මොහොතකට පෙර ඉගිළී ගිය දෑසේ හිමිකාරිය සමඟ ය. එහෙත් එදා ඒ වැස්ස ඔහුට දැනුණේ ආදර මධු වැස්සක් ලෙස ය. එක කුඩයක සෙවණේ එක ම මඟක ගමන් කළ ඔවුන් දෙදෙනා අද දෙමංසලක දී දෙමඟකට වෙන්වී තිබේ. මෙය දෛවයේ තවත් සරදමක් ම ය.

“අඳුරු ලලා
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ

ඒ මිහිරි යටගියාවෙන් මතුවන වැස්සට තෙමෙමින් ඔවුන් දෙදෙනා කොතරම් සිහින මාළිඟා තනන්නට ඇති ද? දැන් ඒ සියල්ල ම නාය ගොසිනි. ඈ ගිය සුවිසල් මොටෝරිය පදවන්නට ඇත්තේ ඇගේ සැමියා විය යුතු ය. දැන් ඈ අයිති ඔහුට ය. ඒ දෑස අයිති ඔහුට ය. තමාට උරුම වී ඇත්තේ දරාගන්නට බැරි හුදෙකලාවක් පමණකි. අඬනවා නම් අඬන්නට. මේ වැස්සට වඩා කඳුළු, ඔහු සතු ව තිබෙනවා විය යුතු ය. යොවුන් ආදරය ඔහුට ඉතිරි කර ඇත්තේ එපමණකි. මේ දෛවයේ කුරිරු සරදමක් මිස වෙන කුමක් ද?

අවසානයේ දී ලූෂන් බුලත්සිංහලයන් තම පබැඳුම අපූර්වතම පරිසමාප්තියක් කරා ගෙන එනු ලබයි. ඒ දෛවෝපගත සරදමක් මේ සිදුවීමට ඈඳා ගනිමිනි. ඒ ආදර නිල් දෑස රැගත් සුවිසල් මොටෝරිය, ඔහු ව පසුකර ගෙන යන්නේ, ඔහු ව මඩ වතුරෙන් නහවමිනි. ජීවිතයේ ඔහු ලද පරාජය හා ඔහුගේ අසරණකම සන්නිවේදනය කිරීමට රචකයා මේ සිද්ධිය උපයෝගි කරගනියි. සහෘද සිත්සතන්හි මේ අභාග්‍යවන්ත පෙම්වතා කෙරෙහි හටගන්නේ විශාල අනුකම්පාවකි. ඒ අනුකම්පාව ඔස්සේ රසිකයා සසලවන්නේ මේ පරාජිතයාගේ හදවතේ මේ මොහොතේ ඇතිවන සිතුවිල්ල මත ය.

“රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ
අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ

මේ සුවිසල් මොටෝරිය පවා ඔහුට සරදම් කරන ආකාරය රචකයා නිරූපණය කරයි. ඇයට උණුසුම දෙන මොටෝරිය ඔහු ව මඩ වතුරෙන් නැහැවීමට තරම් අකාරුණික වී ඇත. ඒත් මේ සියල්ල දරා සිටීමට තරම් ළතෙත් බවක් තවමත් ඔහුගේ හදවතේ ඉතිරි වී පවතී. ඇය වෙනුවෙන් හදවතේ හටගත් ආදරය තව ම ඉතිරි වී ඇත. ඒ ආදරයේ නාමයෙන් ඒ අකාරුණික රථයේ රෝදයට වුව ද සමාව දිය හැකි ය. “අපේ සබඳකම් නෑ රිය සක දන්නේ” නැමැති යෙදුම් අතිශයින් ප්‍රබල යෙදුමකි.


මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුළේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

පද රචනය :- ලූෂන් බුලත්සිංහල
සංගීතය :- රෝහණ වීරසිංහ
ගායනය :- රෝහණ වීරසිංහ

ඈ කෙරෙහි පැවැති ආදරයේ තරම මේ අජීවී රියසක දැන සිටින්නේ කෙලෙසද? දැන සිටියා නම් මේ රියසක, තමාට මෙබඳු සරදමක් නොකරනු ඇත. ආදරය කළ සිතින්, වෛර කිරීමට ඔහු සූදානම් නැත.

ලූෂන් බුලත්සිංහලයන් ගේ පදමාලා ඔහුට ම ආවේණික වූ සුවිශේෂ ගුණාංග රාශියක් පවතී. එකක් නම් පරිසරය, සංකේතාත්මක ව තම අනුභූතීන් සමඟ මනාව බද්ධ කර ගැනීමට ඔහු තුළ පවතින්නා වූ හැකියාවයි. ‘පිපුණු මලේ රුව‘ ‘දම් පාටින් ළා’ ‘සඳලතා නඟේ’ ‘පුන් පෝදා සඳ’ කන්‍යාවී වැනි නිර්මාණ ඒ සඳහා නිදර්ශන කීපයක් පමණකි. එසේ ම විශාල ආත්ම සංයමයක් ඒ නිර්මාණ තුළ අන්තර්ගතව පවතී.

ආදරය ගැන ලිවිය හැකිවන්නේ ආදරය හොඳින් හඳුනන විට ය. ආදරය වූ කලී බෝසත් පාරමිතාවකි. එහි වෛරයට ඉඩක් නොමැත. අමාදහරක් ලෙස එය හදවත් දොවමින් නොපෙනෙන අනන්තයක් කරා ඇදී යයි. ඒ උත්තරීතර මානවදයාව මනාව සංස්පර්ශ කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.

ගීත පදමාලාවක වචනයකට යා හැකි දුර සමතික්‍රමණය කිරීමේ හැකියාව තනුව බිහිකරන සංගීතඥයා සතු විය යුතු ය. ඒ ජන්ම වාසනා ගුණය රෝහණ වීරසිංහයන් සතු ය. අනෙකුත් ගායකයන් වෙනුවෙන් තනු නිර්මාණය කරන රෝහණ වීරසිංහයන්, මේ පදමාලාව සඳහා තනුව නිර්මාණය කරන්නේ තමාගේ ගායනය පිණිසයි.

ඇතැම් විට මේ අපූරු පබැඳුම තමා ගායනා නොකර අතැහැර දැමීමට සිතක් ඔහුට පහළ නොවන්නට ඇත. ඇත්තෙන් ම ඔහු මේ පද මාලාවට ලොබ බැන්දා විය යුතු ය. ගායනයේදී ඔහු පදමාලාවටත් ඔහු ගේ ම තනුවට උපරිම සාධාරණය ඉටු කරගෙන ඇති බව පැහැදිලි ය.

ආදරයේ වේදනාව මිහිරක් කරගැනීමට කෙනෙකුට නොහැකිද? සැබැවින් ම එය කළ හැකි දෙයක් මැයි. හදවත් බුර බුරා ඇවිළෙන ආත්මාර්ථය හැකිතාක් බැහැර කළ හැකි මිනිසාට වේදනාව මිහිරක් බවට හරවා ගත හැකි ය. එවිට පරාජිත ප්‍රේමය වුව ද මල් සුවඳක් සේ හමාවිත් හදවතේ මොහොතක් රැඳී ඉන් පිටවනු ඇත.

ගීතයක තනුවක මිහිර, ගායකයාගේ හඬෙනි මිහිර සියල්ල අතහැර දමා, ගීතයක පද මාලාවක්, ආස්වාදනීය ලෙස මෙනෙහි කරන්නට ලැබේ නම් ඒ අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ හැකියාව මේ පබැඳුමෙහි අන්තර්ගත ය. මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මනහර කඳු වළලු වලින් පිරි සෙන්කඩගල පුරයට ඇද හැලෙන වැහි කෝඩයක් මගේ මනසට නැඟෙයි. ජීවිතයේ බොහෝ යස ඉසුරු වලට හිමිකම් නොකියන තරුණ වියේ මුල නොව අග සිටින්නකු කඩ පිලක අයිනේ වැස්සට මුවා වී සිටිනු මට දිස්වෙයි.

-ධම්මික බණ්ඩාර
(උපු‍ටා ගැනීමා සිළුමිණ පුවත්පතින්)

~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...//

මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී...

කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකී
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ...



ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය :- දයා ද අල්විස්‌
සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩ

ආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්‍ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස්‌ ගසකට සමානයි කියලනේ කියන්නේ. ආදරය වෛරයක්‌ බවට පෙරළෙන්නේ හැරයාමත් සමගින්. ඒත් හැම වෙන්වීමක්‌ම වෛරයකින් කෙළවර වෙන්නෙත් නැහැ.

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...

අපි දෙන්නා... කොයිතරම් ආදරෙන්ද හිටියේ... දෙන්නට දෙන්නා නැතුවම බැරිවුණා. ඒ නිසා අපි කූඩු වුණා.. ආදරේ... වෙනදටත් වඩා වැඩි වුණා... ඒත්... ඒ කොයිතරම් කෙටි කාලයකටද... ඔයා මගෙන් වෙන් වුණා. හිතාගන්නවත් පුලුවන්ද... සමහරවිට මගේ වරදක්‌ වෙන්නැති. ඔයා වෙන්ව ගියේ ද්වේෂයෙන් නොවේ. මගේ හිස ආදරෙන් පිරිමදිමින් ඔයා මගෙන් සමුගත්තේ. ආයෙ නොඑන බව කියමින්... ඒ සමුගත් මොහොතේ මතකය... තවමත් මගේ හිතෙන් මැකී ගිහින් නෑ...

දයාද අල්විස්‌... අපේ හිතාදර මාධ්‍යවේදිනිය නිවේදිකාව ලියූ තවත් හැඟුම්බර ගීයක්‌... ගයන්නී ඉන්ද්‍රාණි බෝගොඩ ඒ හඬත් හරිම හැඟුම්බරයි තනුව සංගීතය. ප්‍රවීණ සංගීතඥ චන්ද්‍රදාස බෝගොඩගේ

මේක මගේ අත්දැකීමක්‌ නම් නොවේ. වෙන කෙනකුගේ අත්දැකීමක්‌ වුණත් අපිට පුලුවන්නේ අපේ අත්දැකීමක්‌ බවට පත්කරගෙන නිර්මාණයකට නගන්න. ඉන්ද්‍රානි ඉල්ලීමක්‌ කළේත් නැහැ මේ විදිහට ලියන්න කියලා... ඒත් ඉතින්... මේ කතාව මට ගුවන්විදුලියේ හිතවතෙක්‌ කියූ සිද්ධියක්‌. ඒ දයාද අල්විස්‌ ගී පද රසිකාවිය පැවැසුවා.

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී

ඔයාට මං කොයිතරම් ආදරය කළාද ඒ ආදරයේ තරම මට දැනුනේ ඔයා මගෙන් ඈත්ව ගියාට පස්‌සේ. එදා ඔයා මගෙන් වෙන්ව යද්දී මට දැනුණා. ජීවිතයක්‌ මට ලැබුණේ ඔයා නිසා බව. ඒත් එදා මං අසරණ වුණා. කවදාවත් නොදැනුණු තනිකමක්‌ එදා ඒ මොහොතේ මට දැනුණා.

කිසි ලෙසකින්වත් වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකි
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ

ආදරය කොහොමද මම තේරුම් කරලා දෙන්නේ... ආදරයක්‌ නැතුව මම කොහොමද ඉන්නේ ඒක මට අයිතියි. ඒ බව මට දැනුණා. කිසිදා නැවත නොඑන්න ගිය ඔබ ආයෙත් මා සොයා ආ දා... මට හැඟුණා. ආදරයට අයිතියක්‌ හිමිකමක්‌ මටත් තියෙනවා කියලා.

ඇයට ඉවසුම් නැහැ. හැරදමා ගිය කෙනෙක්‌ ආපසු ආවොත්... ඒක අදහන්නත් බැරි තරම් සතුටක්‌ ආදරය හිතේ තියාගෙන සමුගන්නා අයත් ඉන්නවා... එවැනි කෙනෙක්‌ තමයි ඔහු. ඔහු ද්වේෂයෙන් ඈ හැර ගියා නම්... යළි කිසිදා එන්නේ නෑ... ඔහු යළි ආවා. ඒ ඇය ගැන හිත තුළ අනුකම්පාවක්‌ තිබෙන නිසා.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

හුදකලාව...


කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා.

නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි තුලින්ම එන සිතුවිල්ලක්, සිතුවිලි ගොන්නක්. කරන්න කිසිම වැඩක් නැතිවෙලා කම්මැලි කමේ වාඩිඋනහම ඒ සිතුවිලි අතර ගෙවන හැම තප්පරයක්ම අපි හුදකලාවෙන් ගතවෙනවා. ඒවා කොච්චර මිහිරි උනත් අමිහිරි උනත් එක රසවිදින්නට හිතට නැගෙන්නේ ලොකු අසාවක්. තනියම ඉපදිලා තනිව මැරෙන මිනිසාට හුදකලාව අනිවාර්ය දෙයක්. කව්රු අපේ ජිවිතයට එකතු උනත්, හුදකලාව ඉවර වෙන්නේ නෑ.. සිද්ද වෙන්නේ තාවකලිකව තනිකම නැති වීමක් පමණයි. මම හුදකලාවේ ජිවත් වනවිට හුදකලාව හුදකලාවම පරාද කරනවා. සමහරවිට හුදකලාව මගින් මිනිහෙක්ව කම්මැලි කරවනවා, එත් ලෝකේ ගොඩාක් නිර්මාණ වලට හේතුව වෙන්නේත් අපි මේ කතාකරන හුදකලාවම තමයි... මම ආසයි, නෑ ගොඩාක් ආසයි ඒ හුදකලාවට

මම හිතන්නේ, මිනිසෙකුට ජිවිතය වින්දනය කරන්නට හැකි හොදම කලාව වන්නේ මේ හුදකලා බවයි..

 සැලි