සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි
Showing posts with label බුදු දහමෙන් ජීවිතයට. Show all posts
Showing posts with label බුදු දහමෙන් ජීවිතයට. Show all posts

මහානුභාව සම්පන්න රත්නමාලි ගථා රත්නය



සං සං සාර සාරෝඝ විනීත ණී සං
සං සං ණීත සාතං සුචිසාර ධි සං
සං ධීරකං සෝණ්ණ තනු පලා සං
සං ලාප දෙසිං පණමෙහි සා සං

සං සාභිගං කේවළ මොහ නා සං
සං නාහකං මාර රණෙ විසෙ සං
සං සේවිතං දාසි මුදරා හා සං
සං හාර ධම්මං පණමෙ සදා සං

සං දාසගං නාසිත පාප නා සං
සං නාප දංසිං හත ඝොර පා සං
සං පාරගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමෙ රසා සං

සිංහල තේරුම...

සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් අති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ සඟන

ඔබට තෙරුවන් සරණයි....!!!!!!!

ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල…



කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...

කලක් මෙම විහාරස්ථානයේ
මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ...දෙමටමල් විහාර භූමිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය... ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත... මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්යා යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි...
ජනප්රවවාද අනුව මෙම පුන්ය් භූමිය අපූරු ඉතිහාස කතාවකට සම්බන්ධ වේ...එම කතාව සැකවින් මෙසේය…

කාවන්තිස්ස පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ...මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි...ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්රයථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය... එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි...
පරාජයෙන් පලා යන දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය...

යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය...එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි...මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය... සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය...දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය...

මෙවේලෙහි ස්වාමීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ...ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය...

පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය... මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්රදකට විය... “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇත... — at දෙමටමල් විහාරය.බුත්තල.

බුදුරුවගල..



දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය.

වැල්ලවාය තිස්සමහාරාම පාරේ 48 වන සැතැපුම් කණුව අසලින් වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැනදී වන ගහණයක් තුළ මෙම ගල් තලාව දැක ගැනීමට ලැබේ. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.

බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා නිසා ප්‍රචලිත වූ ස්ථාන ඓතිහාසික මෙන්ම කලාත්මක අතින් ද වැදගත් විශේෂිත පුරාවිද්‍යා බිමකි. ගල් බිතුවක් මත දැවැන්තව නෙළා ඇති බුදුරුව නිසා මෙතන නාමය බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවා විය හැක. එහෙත් පුරාණ ස්ථාන නාමය, කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි යන බවත් අද වන තුරු නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.

කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.

ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.

බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ. පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් කල්පනා කළ බව පෙනෙයි.

මේ පිළිබඳව ‘ඓතිහාසික බුදුරුවගල’ නම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ මෙසේ සඳහන් කර තිබෙයි. ‘ක්‍රි.ව. 6 වන සියවසට අයත් මහායාන වාස්තු විද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන ‘මංජු ශශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍ර’ නම් කෘතියේ මහායාන බෝධිසත්වවරු අට දෙනෙක් පිළිබඳව සඳහන් වෙති. මේ නිසා එකල සමාජයේ මේ බෝධිසත්වවරුන් පිළිබඳ දැන සිටින්නට ඇති අතර ඇතැම්විට ඔවුන්ගේ ප්‍රතිමා ද නෙළන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් රුහුණේ මෙවැනි විශාල බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ මහායාන බුදු දහම රෝහණ දේශයේ වඩාත් ප්‍රචලිතව පැවැතුණු බව ය.’

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. (අඩි 25 කට ආසන්නය) එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. (අඩි 21 ක් පමණ) මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය.

මෙම ප්‍රතිමාව හැර අනෙකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා ඇතත් මෙහි ඇති ස්ත්‍රී රූපය ත්‍රිභංග ස්වරූපයෙන් නෙළා ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍ය වඩා හොඳින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නිසා යැයි සිතිය හැකි ය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි. (අඩි 23 ක් පමණ)

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. (අඩි 25 1/2 ක් පමණ) එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. (අඩි 22.4 ක් පමණ) වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.

මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. මෙමඟින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබයි. ඔහු මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන බව මහායානිකයන්ගේ මතය වේ.

මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.

මෙම පිළිම නෙළු මහා ශෛලමය බිත්තිය ඉතා දැඩි බවක් ඇති නිසා සෑම පිළිමයක්ම නෙලීමට ශිල්පීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වී ඇති බවක් පෙනෙයි. ඒ නිසා එම පිළිම සියල්ල නෙලා ඇත්තේ අර්ධ උන්නත ආකාරයට ගලේ ස්වාභාවික හැරීම් ආදිය ප්‍රයෝජනයට ගනිමින් ය.

මෙහි දිස්වන ස්වරූපය අනුව ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නෙලීමේ දී ද මෙම අපහසුතාවයට ශිල්පියා මුහුණ දී තිබෙන බව එහි ස්වරූපය අනුව සිතා ගත හැක. පිළිමයේ මුව හතරැස් ය. සිවුරේ සියුම් රැළි ආදිය ගලේ ස්වරූපය නිසා නිසි පරිදි මතු කර පෙන්වීමට නොහැකි වී තිබේ. එම අඩුපාඩුව මැකීමට පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර ඇති බවක් පෙනේ. අද එම බදාම ස්ථරයන් දකින්නට නැතත් එහි ශේෂ කොටස් තැන තැන දිස් වෙයි.

සුධන කුමාර සහ මෛත්‍රී බෝසත්වරුන්ගේ පිළිමයන්හි විස්තර තරමක් දුරට ඉතිරිව තිබේ. මෙහි වටකුරු මුහුණු ආදියේ විචිත්‍ර බවක් පෙන්නුම් කරයි.

ඒ අපහසුතා කෙසේ වුවද මහා රළු ගල් තලාවක මුහුණත එක දිගට මෙම ප්‍රතිමා පෙළ නෙලා ගලෙන් සියුම්ව මතු කර ගැනීමට නොහැකි අඩුපාඩු මකාගැනීමට හුණු බදාම ස්ථරයන්ගෙන් පුරවා ඒ ඒ පිළිම වලට අදාළ සුදු, රන්වන්, රතු ආදී පැහැයන්ගෙන් අලංකාර කරමින් එදා නිර්මාණ ශිල්පියා දැවැන්ත අභියෝගයක් ජයගෙන තිබේ. ඒ අනුව පිළිම නෙළු කාලයේ දී මෙම ගල් බිත්තිය ඉතා අලංකාරව විචිත්‍ර පැහැයන්ගෙන් දර්ශනය වී තිබෙන්නට ඇත.

ඇත්තෙන්ම ස්වභාව ධර්මයා විසින් අභියෝගාත්මකව සාදා දුන් ශෛලමය බිත්තිය, අපේ පැරැණි කලාකරු විසින් බිත්ති සැරසිල්ලක් බවට පත් කර තිබේ. එය ස්වභාව ධර්මය තව තවත් විචිත්‍රවත් කරයි. ඒ ධෛර්යවන්ත නිර්මාණකරුවන් ඉතිහාස ගමන් මඟ වර්ණවත් කළ තවත් අපූරු කලා කෘතියක් අපටත් මතු පරපුරටත් ඉතිරිකර තිබේ.

ඇත්තෙන්ම මහායාන සංකල්පය මත ප්‍රතිබිම්භනය කළ මෙම ප්‍රතිමා පෙළෙහි ඇත්තේ අප වඩාත් අත්විඳ නැති නුහුරු ස්වරූපයකි. රූස්ස ගහකොළ අතර මැද නිදහස් පරිසරයක මහා ගල් බිතක මතු පිට මෙම නිර්මාණ පෙරහර හා එකතුවී ඇති මේ නුහුරු බව සිතට එකතු කරන්නේ අපූර්වත්වයකි. පරිසරයේ ඇති දැවැන්ත වෘක්‍ෂයන්ගේ පත් සුළඟට නැලැවෙන සියුම් රිද්මය හා මුසුව අතු ඉති ගැටෙන මන්දස්වරය එකතු කරන්නේ තවත් අපූරු සංගීත රාවයකි. පසු බිමෙන් ඇසෙන ඒ සංගීත ස්වර රටා අතර හිදිමින් මහා කලාගාරයක සම්භාව්‍ය සිතුවත් රස විඳින ආශ්වාදනීය හැඟීමක් මෙතන හුදකලා ස්වභාවික පරිසරය තුළ අත් විඳීමට හැකිවීම අපූරු අද්දැකීමක් වනු ඇත.

ඉතිහාසගත, පුරාවිද්‍යාත්මක විවරණයන් මතවාදයන් පසක තැබූවද, අවසානයේ හිත වෙලන සද්ධාසම්ප්‍රයුක්ත හැඟීම හදවතට ගෙන දෙන්නේ අධ්‍යාත්මික සුවයකි.


පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස



පින්වත් මිතුරනි,

අද ඔබට කියන්නේ තවත් ඉතාම වැදගත් වටිනා කරුණක්. සිංහලබෞද්ධකම ගැන නිතර නිතර බොහෝ සෙයින් කථාබස් කරන මේ කාලයේ සිංහලයාගේ බෞද්ධකම රැකගන්නා ආකාරය පෙන්වා දෙන්න ගිහින් මම හොඳටෝම ඊනියා නමට බෞද්ධයන්ගෙන් ගුටි කා ඇත්තෙමි. ඒක ඉතින් සිංහල කමනේ අනගාරික ධර්මපාල තුමත් අන්තිමේට මිනියවත් ලංකාවට ගෙනියන්න එපා කීවනේ. ඒ වුනාට කමක් නැහැ අහන කිහිප දෙනාට හෝ මේක කියන්නම හිතුනා.

මේක කියන්න ආසන්නම කාරණය තමයි, මම, භාග්‍යවතුන් වහන්සේ අපේ රටට මුලින්ම වැඩිය උන්වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා වැඩ ඉන්න, ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්න මහියංගන රජමහා විහාරයේ උතුම් ස්තූප රාජයා වන්දනා කරන්නට ගියා මේ සති අන්තයේ. ඉතින් එහිදී තමයි මේ සිංහල බෞද්ධකම දැකගන්න ලැබුණේ. මේක කියවලා ඉවර වුනාම තේරේවි ඒක මහියංගන රජමහා විහාරයට පමණක් සීමා වූ දෙයක් නොවන බව.

අපේ සිංහල බෞද්ධ මුතුන්මිත්තෝ වන්දනා ගමන් සති මාස ගනන් ගිය හැටි ඔබ අසා ඇති, ගමේ පන්සලේ හෝ දුර ඈතක හෝ ඔවුන් ඒ වන්දනා ගමන් ගෙදරින් පිටත් වෙන මොහොතේ සිට ඉතාමත් ගෞරවයෙන් තමයි හැසිරෙන්නේ. මෙහිදී බොහෝ විට දක්නට ලැබුණු දෙයක් තමයි, පිටත් වීමට පෙර තෙරුවන් වන්දනා කොට එක්තරා වැඩිහිටියෙකු නඩේ ගුරා වශයෙන් තබා ගැනීම. නඩයේ කවුරුත් එතුමන්ගේ බසට පිටින්නම් ගියේ නැහැ.

ඉතින් අනවශ්‍ය දෙතිස් කථා වලින් තොරව තෙරුවන් ගුණ ගයමින් සිතමින් තමයි එදා ඒ ගමන් ගියේ. තෙරුවන් ගුණ සිතන වන්දනා කරන වාරයක් පාසා
ඉමහත් පුණ්‍ය සම්භාරයක් ඔවුනට රැස් වන්නට ඇත.

ඉතින් නියමිත සිද්ධස්ථානයට පැමිණීමට පෙර ආසන්න ස්ථානයක නැවතී ස්නානය කොට පිරිසිදු වස්ත්‍රයක් හැඳ සියළු පූජා භාණ්ඩ, තෙල් මල් පහන් ආදිය සූදානම් කරගන්නවා. ඉන්පසු ඉතාම ශ්‍රද්ධාවෙන් තමයි පුණ්‍ය භූමිය තුලට පිවිසෙන්නේ, බොහෝම ගරු සරු ඇතිව, සක්විති රජෙක් ළඟට යනවා වගේ බොහෝම යටහත් පහත්ව තමයි පිවිසෙන්නේ. මොකද තෙරුවන් කෙරෙහි ගරු සත්කාර දැක්වීමෙන් උපනූපන් ජීවිත වල උසස් යැයි සම්මත කුලයක රජවරු සිටුවරු බ්‍රහ්මණවෞ වෙලා උපදින්නට ගරු සරු දැක්වීමේ පින උපකාර වෙනවා.

ඉන්පසු මුලින්ම කරන්නේ එක පාරටම ගිහින් තෙල් මල් පහන් පූජා කිරීමවත් අහල පහල තියෙන දේවාලෙකටවත් රිංගන එක නොවෙයි. මුලින්ම කරන්නේ එම සිද්ධස්ථානය පිරිසිදු කිරීමයි. මල් ආසන, බෝධි මළුව, චෛත්‍ය මළුව, විහාර ගෙය අතුගා පිරිසිදු කිරීමයි.

ඒ ඇයි කියලා ඔබ දන්නවාද? වන්දනා ගමනේ වන්දනාමය පින්කම් අතර වටිනාම ආමිසමය පුණ්‍යකර්මයක් තමයි පුණ්‍ය භූමිය පිරිසිදු කිරීම. එය මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කිරීමට වඩා අග්‍ර වූ පිනක්.

ඉතින් මහියංගනය පින්බිමට පිවිසෙනවිටම දකින්නට ලැබුණේ හොරි කහ කහ මැක්කෝ කහ කහ වැලි මළුවේ බලු බෙටි ගොම බෙටි අතර සිටින හොරිකඩ බල්ලන් රැලකි. මා සිත ඉතාමත් සංවේගයට පත් විය. මේ බුදු කෙනෙකුන් වැඩිය බිමට සලකන හැටිද?

ඉන්පසු ගල් අතුරනලද සෑ මලුවට පිවිසියෙමි දොහොත් මුදුන් දී වන්දනා කළෙමි මල් ගෙන ගිනි අවුවේ වුවද මහා ථූපය පැදකුණු කළෙමි. එතැන සෑ මළුවේ

ඇති එකම සෙවන ඇති ස්ථානය තමයි මළුව ප්‍රදේශයක් ආවරණය් වන ලෙස අතුපතර විහිදී ගිය බෝධීන් වහන්සේ. ඉතින් අවුවෙන් මිදීමට පිළිසරණක් පතා එතැනට ගියේ වන්දනා කිරීමටය. නමුත් දුටු දෙයින් මට වන්දනා කිරීමට සිත් නොදිණි. සෑයේ මළුවේ කානුව පිරෙන්න වලාකුළු බැම්මේ සිදුරු පිරෙන්න කුණු කසලය. සිංහල බෞද්ධයාගේ බෞද්ධකම මේකද, උජාරුවෙන් කියන සිංහලකම මේකදයැයි එකවරම මගේ සිතට නැගුණි.

මුලින්ම සමන් දෙවාලයට යන මිනිසුන් පළතුරු වට්ටිය ගෙනැවිත් කන්නේ එතැනය, ඉතිරි සිලි මළු පලතුරු ලෙලි, හඳුන් කූරු පෙට්ටි, පොලිතීන් හිස් තෙල් බෝතල්, වතුර බෝතල් ආදියෙන් කානුව පිරී ඇත. මට ඉවසාගත නොහැකි විය, මා මල් මිළට ගත් කෙනාගෙන පොහොර මල්ලක් ඉල්ලගතිමි. මළුවෙන්ම ඉවත දමා ගිය කාඩ්බෝඩ් කැබල්ලක් සහ ඉදලක් සොයාගතිමි. කාණුව බොහෝ වෙහෙස වී පිරිසිදු කළෙමි. මා එය පිරිසිදු කරන අතරතුර සිය ගනනක් එතැන වන්දනා කරන්නට ඇත. නමුත් මා දෙස අමුතු පිස්සෙක් දෙස බලනවා මෙන් බලනු හැර කුණු ඉවත් කරනු දැක තවත් කුණු ගෙනැවිත් දමනු හැර කිසිවෙක් කිසිවක් කලේ නැත. පිරිසිදු කළ අවසානයේ මට නිම්හිම් නැති සතුටක් ඇතිවිය. එනම් මම මහා පිනක් රැස්කරගෙන ඇති බවක් මට සිතිණි. අප්‍රමාණ සතුටකින්, මේ පින මේවා අපිට කියලා දුන්න පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් කළෙමි. ඉතින් පින් කැමති ඔබත් එම පින අනුමෝදන් වෙන්න.

පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස දැක්වෙන මේ ථේරාපදානය බලන්න.

බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2.සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6.ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9.කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10.චිත්ත පීඩා ඇති නොවීම
11.සතුරන් ඇති නොවීම
12.භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15.පරමායුශ විඳීමට ලැබීම
16.ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

ඉතින් පින්වත් මිතුරනි, බලන්න ශ්‍රද්ධාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා කැපකළ භූමිය පිරිසිදු කිරීමේ අනුසස්. ඉතින් ඔබ යමකට කැමතිද ඒ කැමති හැම දෙයක්ම ලබාගැනීමේ හැකියාවක් එම පිනට තිබෙනවා නේද?

ඉතින් අපිත් නැකැත් පස්සේ දුව දුව ඉන්න හොරිකඩ සිංහල හින්දූන් වෙන්නට හදන්නේ නැතිව පින්වත් සිංහල බෞද්ධ වෙන්න උත්සාහ ගනිමු. මහත් වූ පිනක් රැස්වෙන පුණ්‍ය භූමි පිරිසිදුව තබාගන්නට උදවු කරමු. නොදන්නා අයට මෙය කියලා දෙමු. පිනෙහි වටිනාකම කියලා දෙමු. පිනේ විපාක මේ වගේනම් අපිරිසිදු කිරීමේ විපාක කොහොම වේවිද කියලා සිතන්න. බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානයත් රැස්කරගනිමු. සැප ලබමු. සිංහල බෞද්ධකම රැකගනිමු.

තෙරුවන් සරණයි..

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....



බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද?

එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.

සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා නිරෝගී වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.

සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

සත්ත්වයා ලස්සන වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.

සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.

සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.

සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු

මානවකය,මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.

සත්ත්වයා අඥාන වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.

සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.

චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය 

බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..




බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..
ඇවිල ගිය සිත් සතන්.. නිවී සැනසී ගියා..
එකම බන පදයෙනුත්.. ගලා නැණ රැස් දහර..
අඳුරු ජීවිත පුරා.. එළිය විහිදී ගියා..

දුගී පැල්පතේ හෝ.. බමුණු සිටු කුලේ හෝ..
දුකින් මුදවාගන්ට.. බොහෝ දුර වඩිනවා..
මහ වැස්සේ තෙමෙනවා.. හිරු රැසින් දැවෙනවා..
කුසගිනිද දැනෙනවා.. බුදු සමිඳු වඩිනවා..

මිහිරි බන දෙසනවිට.. අමා ගඟ ගලනවා..
කන් යොමා අසනවිට.. සිත සෝක නිවෙනවා..
ගුණ නුවණ වැඩෙනවිට.. සසර දුක ගෙවෙනවා..
බුදු ගුණය සිතනවිට.. නිවන් සුව දැනෙනවා..

වඩිනවිට පිඩු සිඟා.. නෙත් කැළුම් බිම යොමා..
බෙදන්නට දන් පිඩක්.. අනේ මට බැරි වුණා..
සිරිපතුල් වෙහෙසුණා.. අප ගැනම සොය සොයා..
පිරිනිවී වැඩි සේක.. මගේ සම්බුදු පියා..

බුදු නෙතින් බලා ලොව.. සිතේ දුක නිවා දුන්..
බුදු මුවින් ගලා ආ.. මිහිරි දම් අමා දුන්..
බුදු ගුණෙන් සදා සිත්.. සැනසීම ලබා දුන්..
බුදු සරණ යමු අපිත්.. පිළිසරණ සදා දුන්..

හිරු උදාවනු මිසක.. අඳුර එන්නට එපා..
දෙපා පැටළුන විටක.. බිම වැටෙන්නට එපා..
ජීවිතය කිසි දිනක.. නොමඟ යන්නට එපා..
බුදු සමිඳු නැති ලොවක.. කිසි දෙයක් මට එපා..

සිත මගේ සැනසිලා.. නරක දේ දුරු වෙලා ..
පිපුණ කුසුමක් ලෙසේ.. ලොව සුවඳ කෙරේවා..
නිහඬ වන ගුහාවක.. සොඳුරු හුදෙකලාවක..
බුදු සිතක ඇති සුවය.. මහදටත් දැනේවා..

තණ්හාව දුරු වෙලා.. දුක මගේ නැති වෙලා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..

සාධු..! සාධු..! සාධු..!

සම්බුදු ගුණ කවි පද:- පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ. 

ධනය




බුදු දහම මගින් පුද්ගල ජීවිතය දැහැමි මගකට යොමුකරලීම පිණිස ලබා දී ඇති උපදේශ රාශියකි. විශේෂයෙන් ම පුද්ගල ජීවිතයට අවශ්‍ය ධන සම්පත් උපයා ගැනීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත් කෙරෙහි බුදු දහම මගින් අවධානය යොමුකර තිබේ. පුද්ගලයෙකුගේ ලෞකික ජීවිතය සාර්ථකකර ගැනීම පිණිස ධනය අතිශයින් ම වැදගත් වේ. මෙම ධනය උපයා ගැනීමේ දී, දැහැමි ධනෝපාය ක්‍රම අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකු ම යොමුවිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වේ. දැහැමිව හෙවත් තමාටත්, සමාජයටත් කරදරයක් නොවන ලෙසින්, උත්සහයෙන්, දෑතේ දෙපයේ වීර්යයෙන්, දහඩිය මහන්සියෙන් යුතු ව ධනය උපයා ගත යුතු බව බුදු දහමේ උපදෙස් ලබා දී ඇත.


  • කෘෂිකර්මාන්තය 
  • ගව පාලනය
  • දැහැමි වෙළඳාම 
  • රාජ්‍ය සේවය 
  • මුදල් පොළියට දීම.


ආදී ක්‍රම ඔස්සේ ධන සම්පත් උපයාගත යුතු බව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබීය. කෘෂිකර්මාන්තය දැහැමි ලෙස ක්‍රියායත්මක කොට, වී ගොවිතැන හා හේන ගොවිතැන ඔස්සේ ධනය ඉපයීමට බුද්ධකාලීන සමාජය ද හුරු පුරුදු වී සිටි බව දැක්වේ. මෙම ක්‍රම හරහා ඉතා සාධාරණව, සාහසික නොවී, ධන සම්පත් උපයා ගත යුතු බව බුදු දහම උපදෙස් සමයයි.

මෙහි  දක්වා ඇති වෙළදාම දැහැමි ධන්නෝපායන ක්‍රමයක් වන අතර, නොකටයුතු වෙළදාම් ඕහක් ද වෙන්වා දී ඇත්තේ දැහැමි ලෙස වෙළඳාමේ නිරත වෙමින් ධනය උපයා ගත යුතු නිසාම ය.


  • ආයුධ වෙළඳාම 
  • වසවිෂ වෙළඳාම 
  • මත්ද්‍රව්‍ය වෙළඳාම 
  • මස් මාංශ වෙළඳාම 
  • සත්ව වෙළඳාම 


යනු එම නොකටයුතු වෙළඳාම් පහයි. තවද වෙළඳාමේ දී තලාකූට. මානකූට, කංසකූට ආදී වංචනික කිරුම්, මිනුම් වලින් ද ඉවත් ව ක්‍රියා කළ යුතු යැයි බුදු දහම විස්තර කර ඇත.

මෙලෙස දැහැමි ලෙස ධනය උපයා ගත් අයෙකුට එම ධනය ගැන සිතා සතු‍ටු විය හැකිය. ඒ අත්ථි සූඛය ලෙස බුදු දහමේ හැඳින්වේ. පුද්ගලයා උපයාගත් දැහැමි ධනය පරිභෝජනය කිරීමේ පිළිවෙතක් ද පත්තකම්ම නම් සූත්‍රයෙහි සඳහන් වේ.


  • තමාගේ සුඛ විහරණය සඳහා 
  • තම මවුපිය සුඛ විහරණය සඳහා 
  • තම දූ දරු සුඛ විහරණය සඳහා 
  • තම මිතුරන්ගේ සුඛ විහරණය සඳහා 
  • දැසි දස් කම්කරු සුඛ විහරණය සඳහා 
  • ග්‍රමන බ්‍රාහ්මණ සුඛ විහරණය සඳහා 


යනාදී වශයෙන් උපයා ගත් ධන සම්පත් පරිභෝජනය කළයුතු බව පෙන්වා දී තිබේ.

එමෙන් ම උපයාගත් ධනය කොටස් හතරකට බෙදා ගත යුතු බව ද ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුළ අවධාරණය කර ඇත. ඒ අනුව උපයන ධනයෙන් එක් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් ඉදිරි කර්මාන්ත සඳහා ද තවත් එක් කොටසක් හදිසි ආපදාවක දී ගැනීමට තැන්පත් කර තැබීම ද කළ යුතු බව පෙන්වා දී තිබේ. මෙලෙස ධනය කළමනාකරණය කරගෙන ජීවත් වීම තුළින් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව බුද්ධ දේශනාව තුළින් අවධාරණය කර ඇත.

මිතුරනි...


ෆේස්බුක් අඩවියේ චතුර විජය ශ්‍රී ගෙ වෝලයෙන් ලබාගත්ත කි. 

මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි


බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි. එනම් ඔහුගේ හැසිරීම් රටාව අනුවයි, ඒ බව වසල සූත්‍රයෙහි සඳහන්වන,

"න ජ්ච්චා වසලෝ හෝති
න ජච්චා හෝතී බ්‍රාහ්මණෝ
කම්මානා වසලෝ හෝති
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රහ්මණෝ"

යන ගාථා ධර්මයෙන් තහවුරු වේ. කිසිම කෙනෙකු උපතින් ම බමුණෙකු හෝ වසලයෙකු නොවන බවත්, ක්‍රියාවෙන් ඒ තත්ත්වය තීරණය වන බවත් මෙහි දී දේශනා කොට ඇත.

මේ අනුව මිනිසා තම මනස පෙර‍ටු කොට ගෙන මනස තුළ ඇතිවන සිතිවිලි හෙවත් චේතනාවන් මුල්කරගෙන සිතින්, කයින්, වචනයෙන් සිතු කරන ක්‍රියාවන්, එසේත් නැත්නම් කර්මයන් මුල් කර ගෙන ඔහුගේ ජීවිතයේ හොඳ - නරක තත්ත්වය උදා වේ. සැබවින් ම මෙය මිනිසෙකු මනින වැදගත් ම නිනුම් දණ්ඩක් ලෙස දැක්විය හැකි ය.

මිනිස් සමාජය තුළ ජීවත්වන මිනිසා පස් පව්, දස අකුසලයන් සිදු කරන්නේ නම්, ඔහු තිදොරින් ම පිරිහීමට පත්වනු ඇත. එමෙන් ම  ඔහු  ඔහුට ද, සමාජයට ද විශාල පීඩාවක් ගෙන දෙන අයෙකු බවට පත් වේ.

එමෙන් ම තිදොර මුලකර ගෙන නිවැරදි, යහපත් ක්‍රියාවන්හි නිරත වන්නේ නම්, ඔහු උසස් අයෙකු ලෙස සමාජය පිළිගනී එවේනි පුද්ගලයන් ඇසුර ලැබීමට පවා සෙසු තැනත්තන් තුළ රුචි බවක් ඇති වේ.

බුදු දහමේ පෙන්වා දෙන පරිදි සියලු පව් නොකීරීමත්, කුසල් දහම් වැඩීමත්, තම සිත පාලනය කිරීම්ත්   යන දේශනාවන් ඔස්සේ ක්‍රියාත්මක වේ නම් එබඳු තැනත්තා සමාජ ගෞරවයට පාත්‍රවනු නොඅනුමානය ය. එබැවින් මිනිසුන් ලෙස තම ක්‍රියාවන් නිවැරදිකර ගැනීමාට උත්සහ ගැනීම හා එලෙස ක්‍රියා කිරීම බෙහෙවින් ම කාලෝචිත ය. -->

දුක කියන්න මොකක් ද?