සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි
Showing posts with label සිංහල ගී පද. Show all posts
Showing posts with label සිංහල ගී පද. Show all posts

ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස..

විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි.

ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් බුලත්සිංහලයන් විසින් පබඳින ලද රෝහණ වීරසිංහයන්ගේ මනරම් තනු නිර්මාණයෙන් ගායනයෙන් ද සුපෝෂිත වූ ‘මුතුකුඩ ඉහළන’ නැමැති පබැඳුම අතිශයින් සුවිශේෂ වූ විරහ ගීයක් ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. මක්නිසා ද මනරම් සංගීතයට මුසු වූ සුමියුරු කාව්‍යයක් මෙහි අන්තර්ගත බැවිනි.

සංකඩගල පුරවරයට ඇද වැටෙන වරුසාවකි. ඉහළෙන කුඩ මත අතුකැට සේ දිය බිඳු ඉතිරි කරමින් වර්ෂාව ඇද හැලෙයි. එවිට එය මුතු කුඩ ඉහළන මල් වරුසාවකි. වස්සානය දැනුවත් කරමින් වැහිළිහිණි යෝ අහසේ පියාඹති. වැස්සට මුවා වී කොතැනක හෝ සිටින මේ ගීයේ කථිකයා තමා ඉදිරියෙන් ඇදෙන රිය පෙරහර දෙස බලා සිටී. ඒ අතර ඔහු ඉදිරියෙන් ඇදෙන්නේ සුවිසල් රියකි. රිය කවුළුවෙන් ඔහුට එක්වරම ඇස ගැටෙන්නේ සුපුරුදු දෑසකි. ඒ එක්තරා අතීතයක ඔහු ව වශී කළ දෑසකි. ඔහු තම ජීවිතයේ වැඩියෙන් ම ආදරය කළ දෑසකි.

විදුලියක් ලෙස එක් වර ම ඇස් ගැටෙන ඒ දෑස, ඉගිළෙන රථයක් සමඟ ම ඔහුගෙන් ඈතට ඉගිළ යයි. ඒ දෑස සමඟ ලියවුණු ශෝචනීය ඉතිහාස කතාව එක්වර ම ඔහුගේ සිහියට නැඟෙයි. අනපේක්ෂිත මොහොතක ඔහු ගේ හදවත සසල වී යයි. ඒ නිසල වීම ලූෂන් බුලත් සිංහලයෝ තම සුපුරුදු ප්‍රතිභාව ඔස්සේ මනාව කැටයම් කරති. රසිකයා තුළ මේ ජවනිකාව චිත්ත රූප ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට රචකයා සමත් වේ.

“මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

මුතුකුඩ ඉහළන්නට මේ වරුසාව මල් වරුසාවක් වුව ද ඔහුට නම් මෙය කඳුළු වරුසාවක් ම ය. ඔහුගේ හදවත මෙන් ම අවට පරිසරය ද අඳුරු වී තිබේ. වැහි අඳුර ළා හිරු එළියක් ද සමඟ මිශ්‍රවෙයි. එවිට වීදිය දිගේ දියදහරා ගලා බසින්නේ දේදුනු පැහැයෙනි. අතීතයේ මිහිරි මතකයන් ගෙන් තාමත් ඔහුගේ හදවත හැඟීම්බර ව මෙන් ම සෞන්දර්යාත්මක ව ස්පන්දනය වන බව හැඟී යයි. රචකයා ගේ භාෂා භාවිතයේ පිරිපුන් බව පද රචනාවක් ද නිරන්තරයෙන් ඉස්මතු වෙයි. ජනශ්‍රැතියේ උකහා ගත් ‘අඳුරු ලලා’ වැනි යෙදුම් සමඟ පාරිසරික සංකේත ඔස්සේ මේ තරුණයා ගේ මනෝභාවයන් සංකේතවත් වේ.

අතීතයේ දවසක මෙබඳු ම වරුසාවක් සෙංකඩගල පුරයට ඇද වැටෙද්දී මේ වීදිය දිගේ ඇවිද ගිය ආකාරය ඔහුට සිහිපත් වේ. එදා ඔහු ඇවිද ගියේ තනි ව නොව, දැන් මොහොතකට පෙර ඉගිළී ගිය දෑසේ හිමිකාරිය සමඟ ය. එහෙත් එදා ඒ වැස්ස ඔහුට දැනුණේ ආදර මධු වැස්සක් ලෙස ය. එක කුඩයක සෙවණේ එක ම මඟක ගමන් කළ ඔවුන් දෙදෙනා අද දෙමංසලක දී දෙමඟකට වෙන්වී තිබේ. මෙය දෛවයේ තවත් සරදමක් ම ය.

“අඳුරු ලලා
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ

ඒ මිහිරි යටගියාවෙන් මතුවන වැස්සට තෙමෙමින් ඔවුන් දෙදෙනා කොතරම් සිහින මාළිඟා තනන්නට ඇති ද? දැන් ඒ සියල්ල ම නාය ගොසිනි. ඈ ගිය සුවිසල් මොටෝරිය පදවන්නට ඇත්තේ ඇගේ සැමියා විය යුතු ය. දැන් ඈ අයිති ඔහුට ය. ඒ දෑස අයිති ඔහුට ය. තමාට උරුම වී ඇත්තේ දරාගන්නට බැරි හුදෙකලාවක් පමණකි. අඬනවා නම් අඬන්නට. මේ වැස්සට වඩා කඳුළු, ඔහු සතු ව තිබෙනවා විය යුතු ය. යොවුන් ආදරය ඔහුට ඉතිරි කර ඇත්තේ එපමණකි. මේ දෛවයේ කුරිරු සරදමක් මිස වෙන කුමක් ද?

අවසානයේ දී ලූෂන් බුලත්සිංහලයන් තම පබැඳුම අපූර්වතම පරිසමාප්තියක් කරා ගෙන එනු ලබයි. ඒ දෛවෝපගත සරදමක් මේ සිදුවීමට ඈඳා ගනිමිනි. ඒ ආදර නිල් දෑස රැගත් සුවිසල් මොටෝරිය, ඔහු ව පසුකර ගෙන යන්නේ, ඔහු ව මඩ වතුරෙන් නහවමිනි. ජීවිතයේ ඔහු ලද පරාජය හා ඔහුගේ අසරණකම සන්නිවේදනය කිරීමට රචකයා මේ සිද්ධිය උපයෝගි කරගනියි. සහෘද සිත්සතන්හි මේ අභාග්‍යවන්ත පෙම්වතා කෙරෙහි හටගන්නේ විශාල අනුකම්පාවකි. ඒ අනුකම්පාව ඔස්සේ රසිකයා සසලවන්නේ මේ පරාජිතයාගේ හදවතේ මේ මොහොතේ ඇතිවන සිතුවිල්ල මත ය.

“රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ
අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ

මේ සුවිසල් මොටෝරිය පවා ඔහුට සරදම් කරන ආකාරය රචකයා නිරූපණය කරයි. ඇයට උණුසුම දෙන මොටෝරිය ඔහු ව මඩ වතුරෙන් නැහැවීමට තරම් අකාරුණික වී ඇත. ඒත් මේ සියල්ල දරා සිටීමට තරම් ළතෙත් බවක් තවමත් ඔහුගේ හදවතේ ඉතිරි වී පවතී. ඇය වෙනුවෙන් හදවතේ හටගත් ආදරය තව ම ඉතිරි වී ඇත. ඒ ආදරයේ නාමයෙන් ඒ අකාරුණික රථයේ රෝදයට වුව ද සමාව දිය හැකි ය. “අපේ සබඳකම් නෑ රිය සක දන්නේ” නැමැති යෙදුම් අතිශයින් ප්‍රබල යෙදුමකි.


මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුළේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

පද රචනය :- ලූෂන් බුලත්සිංහල
සංගීතය :- රෝහණ වීරසිංහ
ගායනය :- රෝහණ වීරසිංහ

ඈ කෙරෙහි පැවැති ආදරයේ තරම මේ අජීවී රියසක දැන සිටින්නේ කෙලෙසද? දැන සිටියා නම් මේ රියසක, තමාට මෙබඳු සරදමක් නොකරනු ඇත. ආදරය කළ සිතින්, වෛර කිරීමට ඔහු සූදානම් නැත.

ලූෂන් බුලත්සිංහලයන් ගේ පදමාලා ඔහුට ම ආවේණික වූ සුවිශේෂ ගුණාංග රාශියක් පවතී. එකක් නම් පරිසරය, සංකේතාත්මක ව තම අනුභූතීන් සමඟ මනාව බද්ධ කර ගැනීමට ඔහු තුළ පවතින්නා වූ හැකියාවයි. ‘පිපුණු මලේ රුව‘ ‘දම් පාටින් ළා’ ‘සඳලතා නඟේ’ ‘පුන් පෝදා සඳ’ කන්‍යාවී වැනි නිර්මාණ ඒ සඳහා නිදර්ශන කීපයක් පමණකි. එසේ ම විශාල ආත්ම සංයමයක් ඒ නිර්මාණ තුළ අන්තර්ගතව පවතී.

ආදරය ගැන ලිවිය හැකිවන්නේ ආදරය හොඳින් හඳුනන විට ය. ආදරය වූ කලී බෝසත් පාරමිතාවකි. එහි වෛරයට ඉඩක් නොමැත. අමාදහරක් ලෙස එය හදවත් දොවමින් නොපෙනෙන අනන්තයක් කරා ඇදී යයි. ඒ උත්තරීතර මානවදයාව මනාව සංස්පර්ශ කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.

ගීත පදමාලාවක වචනයකට යා හැකි දුර සමතික්‍රමණය කිරීමේ හැකියාව තනුව බිහිකරන සංගීතඥයා සතු විය යුතු ය. ඒ ජන්ම වාසනා ගුණය රෝහණ වීරසිංහයන් සතු ය. අනෙකුත් ගායකයන් වෙනුවෙන් තනු නිර්මාණය කරන රෝහණ වීරසිංහයන්, මේ පදමාලාව සඳහා තනුව නිර්මාණය කරන්නේ තමාගේ ගායනය පිණිසයි.

ඇතැම් විට මේ අපූරු පබැඳුම තමා ගායනා නොකර අතැහැර දැමීමට සිතක් ඔහුට පහළ නොවන්නට ඇත. ඇත්තෙන් ම ඔහු මේ පද මාලාවට ලොබ බැන්දා විය යුතු ය. ගායනයේදී ඔහු පදමාලාවටත් ඔහු ගේ ම තනුවට උපරිම සාධාරණය ඉටු කරගෙන ඇති බව පැහැදිලි ය.

ආදරයේ වේදනාව මිහිරක් කරගැනීමට කෙනෙකුට නොහැකිද? සැබැවින් ම එය කළ හැකි දෙයක් මැයි. හදවත් බුර බුරා ඇවිළෙන ආත්මාර්ථය හැකිතාක් බැහැර කළ හැකි මිනිසාට වේදනාව මිහිරක් බවට හරවා ගත හැකි ය. එවිට පරාජිත ප්‍රේමය වුව ද මල් සුවඳක් සේ හමාවිත් හදවතේ මොහොතක් රැඳී ඉන් පිටවනු ඇත.

ගීතයක තනුවක මිහිර, ගායකයාගේ හඬෙනි මිහිර සියල්ල අතහැර දමා, ගීතයක පද මාලාවක්, ආස්වාදනීය ලෙස මෙනෙහි කරන්නට ලැබේ නම් ඒ අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ හැකියාව මේ පබැඳුමෙහි අන්තර්ගත ය. මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මනහර කඳු වළලු වලින් පිරි සෙන්කඩගල පුරයට ඇද හැලෙන වැහි කෝඩයක් මගේ මනසට නැඟෙයි. ජීවිතයේ බොහෝ යස ඉසුරු වලට හිමිකම් නොකියන තරුණ වියේ මුල නොව අග සිටින්නකු කඩ පිලක අයිනේ වැස්සට මුවා වී සිටිනු මට දිස්වෙයි.

-ධම්මික බණ්ඩාර
(උපු‍ටා ගැනීමා සිළුමිණ පුවත්පතින්)

~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...//

මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී...

කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකී
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ...



ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය :- දයා ද අල්විස්‌
සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩ

ආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්‍ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස්‌ ගසකට සමානයි කියලනේ කියන්නේ. ආදරය වෛරයක්‌ බවට පෙරළෙන්නේ හැරයාමත් සමගින්. ඒත් හැම වෙන්වීමක්‌ම වෛරයකින් කෙළවර වෙන්නෙත් නැහැ.

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...

අපි දෙන්නා... කොයිතරම් ආදරෙන්ද හිටියේ... දෙන්නට දෙන්නා නැතුවම බැරිවුණා. ඒ නිසා අපි කූඩු වුණා.. ආදරේ... වෙනදටත් වඩා වැඩි වුණා... ඒත්... ඒ කොයිතරම් කෙටි කාලයකටද... ඔයා මගෙන් වෙන් වුණා. හිතාගන්නවත් පුලුවන්ද... සමහරවිට මගේ වරදක්‌ වෙන්නැති. ඔයා වෙන්ව ගියේ ද්වේෂයෙන් නොවේ. මගේ හිස ආදරෙන් පිරිමදිමින් ඔයා මගෙන් සමුගත්තේ. ආයෙ නොඑන බව කියමින්... ඒ සමුගත් මොහොතේ මතකය... තවමත් මගේ හිතෙන් මැකී ගිහින් නෑ...

දයාද අල්විස්‌... අපේ හිතාදර මාධ්‍යවේදිනිය නිවේදිකාව ලියූ තවත් හැඟුම්බර ගීයක්‌... ගයන්නී ඉන්ද්‍රාණි බෝගොඩ ඒ හඬත් හරිම හැඟුම්බරයි තනුව සංගීතය. ප්‍රවීණ සංගීතඥ චන්ද්‍රදාස බෝගොඩගේ

මේක මගේ අත්දැකීමක්‌ නම් නොවේ. වෙන කෙනකුගේ අත්දැකීමක්‌ වුණත් අපිට පුලුවන්නේ අපේ අත්දැකීමක්‌ බවට පත්කරගෙන නිර්මාණයකට නගන්න. ඉන්ද්‍රානි ඉල්ලීමක්‌ කළේත් නැහැ මේ විදිහට ලියන්න කියලා... ඒත් ඉතින්... මේ කතාව මට ගුවන්විදුලියේ හිතවතෙක්‌ කියූ සිද්ධියක්‌. ඒ දයාද අල්විස්‌ ගී පද රසිකාවිය පැවැසුවා.

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී

ඔයාට මං කොයිතරම් ආදරය කළාද ඒ ආදරයේ තරම මට දැනුනේ ඔයා මගෙන් ඈත්ව ගියාට පස්‌සේ. එදා ඔයා මගෙන් වෙන්ව යද්දී මට දැනුණා. ජීවිතයක්‌ මට ලැබුණේ ඔයා නිසා බව. ඒත් එදා මං අසරණ වුණා. කවදාවත් නොදැනුණු තනිකමක්‌ එදා ඒ මොහොතේ මට දැනුණා.

කිසි ලෙසකින්වත් වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකි
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ

ආදරය කොහොමද මම තේරුම් කරලා දෙන්නේ... ආදරයක්‌ නැතුව මම කොහොමද ඉන්නේ ඒක මට අයිතියි. ඒ බව මට දැනුණා. කිසිදා නැවත නොඑන්න ගිය ඔබ ආයෙත් මා සොයා ආ දා... මට හැඟුණා. ආදරයට අයිතියක්‌ හිමිකමක්‌ මටත් තියෙනවා කියලා.

ඇයට ඉවසුම් නැහැ. හැරදමා ගිය කෙනෙක්‌ ආපසු ආවොත්... ඒක අදහන්නත් බැරි තරම් සතුටක්‌ ආදරය හිතේ තියාගෙන සමුගන්නා අයත් ඉන්නවා... එවැනි කෙනෙක්‌ තමයි ඔහු. ඔහු ද්වේෂයෙන් ඈ හැර ගියා නම්... යළි කිසිදා එන්නේ නෑ... ඔහු යළි ආවා. ඒ ඇය ගැන හිත තුළ අනුකම්පාවක්‌ තිබෙන නිසා.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

'මියෙන ලොවක නොමියෙන මතකය...'

විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක්‌ සපිරේ




විජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක්‌ සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක්‌ දීර්ඝ එකක්‌ වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා කීර්තිමත් බණ්‌ඩාරනායක පවුලට සම්බන්ධවීම එක්‌ අතකින් සිනමා කතාන්තරයක්‌ තරමටම අද්භූත එකකි. එහෙත් එය සිදු විය. මේ රටේ අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක්‌ මෙන්ම ප්‍රථම විධායක ජනාධිපතිනියද වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මෙනෙවියගේ අතගත් විජය සිය දහස්‌ ගණන් නව යොවුන් යුවතියන්ගේ සිහින කුමරා වූ බවද නිසැකය.

2013 පෙබරවාරි 16 වන දිනට හරියටම විජය ඝාතනය වී වසර 25 ක්‌ සපිරුණි. සිය නොකල් සමුගැනීම සිදු වන විට විජය ශ්‍රී ලාංකික දේශපාලනයේ අධිපතිවාදී දක්‌ෂිණාංශික කඳවුර සමග තීරණාත්මක සටනක නිරතව සිටියේය. එවක පසු බසිමින් තිබුණු සාම්ප්‍රදායික වමේ පක්‌ෂවලද ආශීර්වාදය ලද විජය ඡේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන විජිතයට එරෙහිව කැරැලි ගැසීමට තරම් නිර්භය විය. එහි ප්‍රතිඵලය වූයේ විජය නැක්‌සලයිට්‌ චෝදනා ලැබ සිරගත කිරීමය.

විජය සිරගෙදරදී මුහුණ දුන්නේ අතිශය අමිහිරි අත්දැකීම් මාලාවකට බව ඔහු පසු කලෙක කියා තිබුණි. අඳුරු සිර කුටියක රඳවා සිටි විජයගේ දෑස්‌ නොපෙනී යැමේ අනතුරක්‌ එල්ල වෙද්දී ඔහුට හිරු එළිය ලබා දෙන්නට එදා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දැරූ ප්‍රයත්නය අපට මතකය. ඡේ. ආර්.ට විජය තරම් දේශපාලන සතුරෙක්‌ නොවූ සෙයකිෘ අප අසා ඇති පරිදි ඡේ. ආර්.ගෙන් විජයට යම් සහනයක්‌ ලබාදීමටත් පසුව නිදහස්‌වීමටත් හැකි වූයේ කවදත් දේශපාලන හා සමාජ ක්‌ෂේත්‍රයෙහි ප්‍රබල හිමි නමක්‌ වන ගලබොඩ ඥනිස්‌සර හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසාය.

හිරගෙදරින් නිදහස ලත් විජය සිය දේශපාලන ගමනෙහි අතිශය තීරණාත්මක කඩඉම වූ මහර අතුරු මැතිවරණයට මුහුණ දුන්නේය. විජය පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්‌වීමට ඡේ. ආර්. ගත් ප්‍රයත්නය එදා ඉමහත් විවාදාත්මක නාටකයක්‌ වූ අයුරු අපටද මතකය. මැතිවරණ ප්‍රතිඵලය දෙස රටම බලා සිටියේය. විජය ඡන්ද 45 ක්‌ වැනි සුළු ගණනකින් පරාජයට පත් වූ බව නිවේදනය විය. විජයට තැබූ වෙඩිල්ල එදා වැරදුණි. ඔහු වෙනුවෙන් ඔහුගේ සහායකයකු දිවි දුන්නේය.

විජයගේ දේශපාලනය නොඉවසූ තවත් අය ශ්‍රිලනිපයේද වූහ. ජනතාවාදී නායකයකු ලෙස විජයට හිමිව තිබූ ජනප්‍රියත්වයත්, ආකර්ෂණයත් ඔහු නොඉවසූ පිරිස්‌වලට දිරවා ගත නොහැකි විය. විජය මහජන පක්‌ෂය ආරම්භ කරන්නේ ඒ අත්දැකීම් සමගය. මේ වන විට එල්ටීටීඊ සංවිධානයද උතුර සිය අණසකට නතු කර ගෙන තිබුණි.

ශ්‍රීලනිපයෙන් වෙන්ව ගිය වාම බලවේගද එක්‌කර ගත් විජය උතුරේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටි දකුණේ නායකයකු ලෙස ක්‍රියා කරමින් සිටියේය. විජය උතුරට පමණක්‌ නොව ඉන්දියාවටද ගොස්‌ කොටි ක්‍රියාකාරීන් සමග කතාබහකද නිරත විය. යාපනයට ගිය විජයට එහි සාමාන්‍ය ජනතාව කියා සිටියේ ඊළාම් ඕනෑ බවය. එවිට විජය නිර්භයව කීවේ ඊළාම් එපා සමගිව ඉඳිමු යන්නයි. එහිදී ජනතාව ඔල්වරසන් දෙමින් එය අනුමත කළ බවද කියති.

ප්‍රභාකරන්ගේ තහනම් අඩවියක්‌ බවට පත්ව තිබුණු යාපනයට පා තැබීමේ වරම විජයට හිමිවීම ගැනද එවක පාලකයන් තුළ දොම්නසක්‌ තිබුණු බවද නිසැකය. ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ වීරයා බවට පත්ව සිටි ඇම්. ජී. ආර්. මෙන් ලංකාවේ එබඳු චරිතයක්‌ ලෙස විජයට ඉඩදීම ඔවුන් අපේක්‌ෂා නොකළ දෙයකි. එහෙත් විජය නතර කිරීමට මගක්‌ද නොවීය.

විජය ඝාතනය වන්නේද ඒ පසුබිම තුළය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට සිය සැමියා වූ බණ්‌ඩාරනායක අගමැතිවරයා අහිමි වූයේද දේශපාලනය නිසාය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායකද සිය මව මුහුණ දුන් දෛවයේ සරදමටම මුහුණ දුන්නාය. ඒ වන විට විජයට යශෝධරා දියණියත් විමුක්‌ති පුතාත් වූහ.

විජයගේ මළගම ඔහුගේ සිනමා රසිකයන්ට සෝබර අත්දැකීමක්‌ වුවත් එය දේශපාලන ලෝකය තුළ අලුත් ප්‍රබෝධයකට නිමිත්තක්‌ද විය. මගේ මතකය නිවැරැදි නම් එදා චන්ද්‍රිකා රතු සොහොයුරන් සමග විජයගේ දේහය ඉදිරිපිට වමේ එකමුතුවට දිවුරුම් දීම සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාට ඉහිලුම් නොදෙන්නක්‌ විය.

ශ්‍රී ලාංකික දේශපාලනයේ මතු මහල මත සිටි විජයට ඒ වන විට ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක්‌ හෝ නොවීම හේතු ලෙස දක්‌වා විජයගේ අවසන් කටයුතුවලට නිදහස්‌ චතුරස්‍රයෙහි ඉඩ නොදීමටද සමහරු දත කෑහ. එහෙත් ඒ වනවිට ජනගඟ ගලමින් තිබුණේ විජයට පක්‌ෂවය. ඒ ජනතා සෝ සුසුම් මැද විජය දැයෙන් සමුගෙන ගියේය.

විජයගේ දේශපාලනය එතනින් අවසන් වුවද ඔහුගේ ඝාතන රහස්‌ තවමත් වැළලී තිබෙන බව සිතන අයද සිටිති. විජය ඝාතනය කළ තුවක්‌කුව හා වෙඩි වරුසාව වැස්‌සූ අත හඳුනා ගත්තත් එය මෙහෙයවූ අය කවරහුදැයි තවමත් රහසකි. විජය සිය සන්සුන්, එහෙත් උද්යෝගී ස්‌වරයෙන් "සහෝදර සහෝදරියනි"යි එදා නැගූ හඬ තවමත් ඔහුට ආදරය කළ ජනතා හදවත් තුළ රාව ප්‍රතිරාව නඟන බව මගේ අදහසය.

විජය පිළිබඳ ලියෑවෙන මේ කෙටි සටහනට ඔහුගේ හෘදයාංගම ක්‍ෂෙත්‍රය වූ සිනමාව පිළිබඳවද වචනයක්‌ එක්‌ නොකළ හොත් අඩුවකි. බොහෝදෙනකු විසින් දන්නා, ජනප්‍රියම ආරම්භය ලෙස, සඳහන් කරන "හන්තානේ කතාව" චිත්‍රපටය ඔස්‌සේ ඔහු වේගයෙන් සිංහල සිනමාවේ ප්‍රමුඛ චරිතාංග නළුවා ලෙස පෙරමුණටම ගමන් කළේය.

විජය වඩාත් ආකර්ෂණීය නළුවා බව අමුතුවෙන් කිව යුතු නැත. ස්‌ත්‍රී - පුරුෂ ප්‍රේමයේ සුකුමාර ආධ්‍යාත්මය පුබුදු කළ විජයගේ රංගනය වාණිජ සිනමාවේ මුද්‍රාව බවට පත්ව තිබුණි. විජය - මාලනී යුවළ අප්‍රමාණ සිනමා කලා රසිකයන්ගේ නෙතට, හිතට ශාන්තියක්‌ බඳු විය. නව යෞවනයන්ට ප්‍රේමයේ මාධූර්ය පසක්‌ කළෝ ඔවුහුමය. සනාතන ප්‍රේමයක විචිත්‍ර හැඟීම් ගලා යද්දී විජයත් මාලිනීත් හෙළ සිනමාවේ සිහින කුමරු හා කුමරිය ලෙස අභිෂේක ලදහ.

විජය සිය සිනමා ජීවිතයෙහි ගැඹුරු හා බැරෑරුම් නිරූපණ දෙසට යොමු වූයේ අඩුවෙන්ය. ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමාවේදී විජය අපට හමුවන්නේ සිහින තාරුකාවක්‌ ලෙස නොවේ. සුනිල් ආරියරත්නගේ ක්‍රිස්‌තු චරිතයට විජය පණ දෙන්නේද ඒ ප්‍රතාපවත් ආධ්‍යාත්මයත් මනුෂ්‍යත්වය පිළිබඳ දයාව මෙන්ම දේශපාලන හා වෙනත් ඕනෑම වධ හිංසාවක්‌ ඉසිලීමට තරම් අධිෂ්ඨානයක්‌ තමා තුළ වූ බවම සංකේතවත් කරමින් බව මගේ අදහසය.

විජයට සිය රංග පෞරුෂයට නොදෙවෙනි හඬ පෞරුෂයක්‌ද විය. විජය සිය ජීවිත ගමන ගැන කළ බොහෝ සඳහන්වලදී ගායකයකු වීමට තමා තුළ වූ අභිලාෂය පිළිබඳවද සඳහන් කර ඇත. ඔහු වරක්‌ විශිෂ්ට සංගීතඥයකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙන් සංගීතය හා ගායනය පිළිබඳ අවිධිමත් පුහුණුවක්‌ ලද බවද කියති. සැබැවින්ම ඔහුගේ හඬටද රසිකයෝ අප්‍රමාණව ප්‍රිය කළහ. සියුම් සත්සර සමඟ මුසුව නිම්නාද වන විජයගේ භාව පූර්ණ හඬ විඩාපත් ජන හද සුවපත් කරවන ශාන්තියක්‌ බඳු විය.

විජය කිසිවිටෙක තම ජනප්‍රියත්වය හෝ සමාජ වරප්‍රසාදවලින් අහසට නැගුණේ නැත. ඔහු නිරතම කතා කළේත් ආදරය කළේත් දූවිල්ලෙන් උපන් පන්ති සමාජයේ පුංචිම මිනිසාටය. විජයගේ හද මඬල කිසිදිනක මිලාන නොවන සුරත් කුසුමක්‌ වැන්න. විජයගේ ලෝකයේ ඉහළම ආදරය හිමි වූයේ ඔහුගේ අම්මාටය. විජය සිය එකම දියණිය වූ යශෝධරාටත් එකම පුතු වූ විමුක්‌තිටත් දැක්‌වූයේද හැම දුවකටම පුතකුටම දක්‌වන ආදරය යෑයි මම සිතමි. ඒ තරම් අව්‍යාජ සෙනෙහසක්‌ දරුවන්ට දැක්‌වූ දයාබර මිනිසෙක්‌ තවමත් මට හමුවී නැත.

විජය හිරගෙදර සිට ලියූ ලිපිවලින් අමතා තිබුණේ යශෝධරා හා විමුක්‌ති බව මට මතකය. එහෙත් ඒ ඇමතුම් ඉතා පැහැදිලි දේශපාලන හා සමාජ වෙනසක්‌ අපේක්‌ෂාවෙන් කරන ලද බව ඉතා පැහැදිලිය. ළමා වියේ විජය මුහුණ දුන් අමිහිරි මතක සටහන්වල පාඩම්ද ඇතැම් ලිපියක තිබුණු වග මට සිහිවේ. ඒ ලිපිවලින් ගලා ගියේ පන්ති සමාජයක පීඩිතයන්ගේ විමුක්‌තිය පිළිබඳ වූ අව්‍යාජ හැඟීම් සමුදායකි. දෛවය විසින් ඔහුට විවර කළ හැම දොරටුවක්‌ම සදාකාලිකවම වසා දැමීමට ඒ දෛවයම ඉඩ සැලසීම මට තවමත් තේරුම් ගත නොහැකිය. හද ගණඳුර බිඳ දිලිහි දිලිහී හිනැහෙන සොඳුරුම මතකයක්‌ සේ විජය හැමදාමත් ජන හද තුළම සුපිපී රැඳෙනු කවුරු වළක්‌වත්ද?

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි


~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

ගායනය :- චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි
පද රචනය :- හේසල ගුණතිලක
තනුව :- ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු

ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.


-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද අසම්මතේ පෙම මල් පුබුදයි..


'ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...'

ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි//
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...//
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

ගායනය :- රොහාන් ශාන්ත බුලේගොඩ
පද රචනය: - විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව :- ලක්‍ෂ්මන් හිල්මි

ආදරයක්‌... කොටු කරලා.... හිර කරලා තියන්න පුළුවන්ද... බැහැ... ඒක නිශ්ඵල ක්‍රියාවක්‌... ආදරය එහෙම දොරගුළු ලා සිර කරන්න බෑ. ඒත්...කෙනෙකුට තවකෙකු කෙරෙහි ආදරයක්‌ ඇතිවෙද්දි.... ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරද්දි ඊට හරස්‌ වන ලොකුම බාධාව තමයි අසම්මතය... අසම්මත ආදරය වරදක්‌.... ඒත්....,

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනා මුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි
ආදරයක්‌ ඉපදිලා... සමීප ආදරයක්‌...

ඒත් හිත දොස්‌ කියනවා... එපා දොස්‌ කිව්වා ඇති... මගේ හිතේ අප්‍රමාණ වූ ආදර හැඟුම් මෝදු වෙනවා. ඒවා දයාබරයි.... මම දන්නවා මගේ මේ ආදර සිතුවිලි... ඉටු නොවන බව ඒත්... මගේ හිත ඉල්ලන්නේ ඔයාවමයි. මම පාරමී පුරවාගෙන සංසාරෙන් සංසාරෙට පැතුවේ ඔයාවමයි.

විපුල් ධර්මප්‍රිය ජයසේකර, රොහාන් ශාන්ත බුලේගොඩ ලියූ ගීයක්‌. සංගීතය සහ තනුව ලක්‍ෂ්මන් හිල්මිගේ. විපුල් සේවය කරන්නේ ගුවන් විදුලියේ. දැන් අපි විපුල් කියන දේ අහමු.

අපේ ගුවන් විදුලියේ සේවය කළා ජනප්‍රියම සංගීතඥයෙක්‌. ඔහු එහිම තරුණියකට ආදරය කරන්න පටන් ගත්තා. මේක අසම්මත ප්‍රේමයක්‌. දෙන්නම කසාද බැඳපු අය. දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. මේ මගේ හිතවතාට ඔහුගේ හිතේ තියෙන දේ කියාගන්න වුවමනා වුණා. ඉතින් ගීයක්‌ ලියාදෙන්න කියලා ඔහු කළ ඉල්ලීම අනුවයි මේ ගීය ලියෑවුණේ.

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

නින්දේ වගේම නොනින්දෙත් දෙනෙත් විවරය සිටිත්දී මෙන්ම දෙනෙත් පියාගත් කලත් මගේ නෙත සිත ඉල්ලන්නේ ඔයාගේ රූපයමයි. ඔය අහිංසක මුහුණ නිතරම මට මැවී පෙනෙනවා. මඟ තොට දකින සෑම රූපයකින්ම මට පෙනෙන්නේ ඔයාවමයි. මගේ ළය මතින් නැඟ එන ගින්දර... නිවාලන සිහිල් දිය බිඳු ඔයා මිස වෙන කවුද? ඔයාගේ ඔය සිසිලස පිරි හදවත... තමයි මගේ නවාතැන.

මම ගීය ලියුවා. ලක්‍ෂ්මන් හිල්මි තනුව නිර්මාණය කළා. රොහාන් ශාන්ත ගීය ගැයුවා. ගීය ජනප්‍රිය වුණා.. මගේ මිත්‍ර සංගීතඥයා සහ අසම්මත ප්‍රේමය තවමත් එහෙමමයි. දෙදෙනා දෙපසකට වෙලා තවමත් හිතෙන් ආදරය කරනවා.

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

සමාජය කොතරම් අකුල් හෙළුවත් බාධා කළත් අසම්මත පෙම වළක්‌වන්න බෑ.. ලෝකයාගෙන් ගැරහුම් අවලාද එන්න පුළුවන්. ඒවා සැඩ පහරක්‌ නම්... අසම්මත පෙම හරියට ඒ සැඩ පහර මැද පූදින මලක්‌ වගේ. වෙන් වෙන්න අප හිතලවත් නෑ. වෙන් වීමක්‌ ගැන නොවේ, නිතර හිතන්නෙ එක්‌වීම ගැන. කවුරු කොතරම් චෝදනා කළත් මගේ හිතේ ඔයා හැර වෙන කිසිවෙක්‌ නෑ.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

අපි අතිනත ගත්දා ඔයාට මතකද...


~~ ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහිවෙනවා ~~

අපි අතිනත ගත්දා ඔයාට මතකද... අතේ ඇඟිලි රන් හුයකින් එක්‌කරද්දි අපේ හදවත් දෙකත් එකට බැඳුණා. දෙසිතම එකම සිතක්‌ වුණා.

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

එදා අපි අතිනත් අරගෙන. අපේම ලෝකෙක තනිවුණා. කාත් කවුරුවත් බාධාවට හිටියේ නෑ. අපි දෙන්නගේ ඒ පළමු රාත්‍රිය ඔයාට මතකද? ඔයා මගේ දෙපා දෑතින්ම වැළඳගෙන සිපගත් හැටි මට නම් අමතක වෙන්නෙම නෑ.

ටී. එම්. ජයරත්න ගයන මේ ගීය ලියුවේ විමලා රංජනී පීරිස්‌. ඒත් එහෙම කෙනෙක්‌ හැබෑවටම නෑ. අන්වර්ථ නාමයක්‌ මෙතරම් ලස්‌සන ගීයක පදමාලාවට නියම අයිතිය කියන්න... ලියූ කෙනා අකැමැති වුණා. ඒ ඇයි.

එකල ගුවන් විදුලියේ සභාපතිවරයාව හිටියේ රිඡ්වේ තිලකරත්න. විමලා රංජනී පීරිස්‌ කියන්නේ රිඡ්වේටම තමයි. ගුවන් විදුලියේ නිලතල උසුලද්දි ගීත ලියන්න බෑ. ඒ නිසා තමයි මේ ගීය රිඡ්වේ ලියලා වෙන නමකින් ටී. එම්. ට දීලා තිsයෙන්නේ.

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

පෙර භවය ගැන අපිට මතකද නෑ... ඒත් අපි දෙන්නා හැම භවයකදිම ඔයා මගේ මං ඔයාගේ වුණා. ඒ අපි ආ ගමන් මග. අපිට මතක නැහැ. ඒත් අපේ හදවත්වලින් නැඟී ආ හැඟුමන් ඒ. ස්‌වරය එකට එකතුවුණා. ඒ දිනය නම් මට අදත් සිහියට එනවා.

එදා රිඡ්වේ තිලකරත්න මේ ගීය ලියලා ගුවන් විදුලියේම සේවය කරන ජී. එස්‌. බී. රාණි පෙරේරා ශිල්පිනියට දුන්නේ "මේක කා හරි ලවා ඉක්‌මනට ගායනා කරවන්න" කියමින්. ඉන් මඳ වේලාවකට පසු ජී. එස්‌. බී. රාණිට, ටී. එම්. ජයරත්න හමුවෙලා ඇය ඔහුට ගීය දුන්නා. එච්. එම්. ජයවර්ධන ලවා තනුව සාදා ගත්තා. ටී, එම්. ගීය ගැයුවා. ඒ විමලා රංජනී පීරිස්‌ගේ පදමාලාවක්‌ ලෙස ගීය ජනප්‍රිය වුණා. රිඡ්වේ සංස්‌ථා සේවයෙන් සමුගත්තා. එවිට රාණි පෙරේරා ගායිකාව ටී. එම්. ට ඇත්ත සිද්ධිය පැවැසුවා. ගීය ලියුවේ රිඡ්වේ කියා ඇය ඔහුට පැවැසුවා.

ඔබ මා දෙනෙත්
මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ඔයාගේ නිල් නුවන් මගේ දෙනෙත් එක්‌ක යා වුණා. මගේ දෙනෙත් ඔයාගේ දෙනෙත් එක්‌ක යාවුණා. අපි දෙන්නම එකට එක්‌ව ආදරය, සෙනෙහස සොයා ගියා. ඔයාට ඒ අතීතය මතකද? ඒ නම් සොඳුරු අතීතයක්‌

මේ ගීයෙන් කියන්නේ පෙම්වතුන් දෙදෙනෙක්‌ ගැන. ඔවුන් විවාහ වෙලා. මංගල රාත්‍රිය ගැන සිහිකරමින් ගීය ආරම්භ කරනවා. මංගල රැයේදි දෙදෙනා අතර ඇතිවූ බැඳීම් ගීයෙන් විග්‍රහ කරනවා. එපමණක්‌ද? රිඡ්වේ තිලකරත්න ගීයෙ පදමාලාව තමන් කළ බව සැඟවීම, රාජ්‍ය සේවකයකුගේ අවංකභාවයට නිදසුනක්‌.


~~ ඔබ හා මෙමා අතිනත් අරන් ~~

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දැතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ගායනය :- ටී.එම්.ජයරත්න
පද රචනය :- විමලා රංජනී පීරිස්‌
තනුව :- එච්.එම්.ජයවර්ධන

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!




'මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!'
- පි‍්‍රයා සූරියසේන

සිංහල ගීත ක්ෂේත්‍රයේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ගායන ශිල්පීන් අතර “පි‍්‍රයා” කී පමණින්ම ගීත ශ්‍රාවකයින් හඳුනන ඔහු පි‍්‍රයාදර ගායන ශිල්පි පි‍්‍රයා සූරියසේන ය. මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි පි‍්‍රයාට ආරාධනා කළේ දිගු නිහැඬියාවකට පසුව ඔහු සිය ගීත ඇල්බමයක් (“මල්සර හිනාව“) එළිදැක්වීම නිමිත්තෙනි.

පැරැණි ගීතයක නමින් අලුත් ගීත ඇල්බමයක් එළිදැක්වූවේ ඇයි...?

”මේ ගීත එකතුවේ එදා මෙදා මා ගැයූ ගීත දාසයක් ඇතුළත් වෙනවා. මේ ගීත සියල්ලටම මං එක වගේම ආසයි. ‘මල්සර හිනාව‘ මේ ගීත එකතුව හඳුන්වන්න ලස්සන නමක් කියා හිතුණු හින්දා යොදා ගත්තා.”

”මල්සර හිනාව“ සඳහා නිර්මාණ දායකත්වය කාගෙන් ද..?

”ගී පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ, රෝහණ හෙට්ටිආරච්චි සහ නීතිඥ විමල් වීරරත්න ආදීන්ගේ දායකත්වයෙනුයි. සංගීතවත් කළේ මමයි. විශේෂයෙන් තැටි ගත නොකර මා ළඟ තිබුණු ප්‍රේමකීර්තිගේ ගීත වැඩි ගණනක් මේ ඇල්බමයට ඇතුළත් කළා.”

එම නිර්මාණ මොනවාද..?

”ගීත ශ්‍රාවකයින්ගේ ආදරය දිනා ගත් ‘තොළ ගෑ අමාවේ රහා’ – ‘කිරි සයුරේ රැල්’ – ‘මේ අත් බවේ පුරා’ – ‘සැන්ඳෑ යාමේ’ – ‘ආදරණීය නේරංජනා’ – ‘ඔබ කඳුළේ උපතයි’ වැනි ඒ ගීත ප්‍රේමකීර්ති ලියූ ගී අතර ප්‍රධානයි. ඒ වගේම ජීවතුන් අතර නැති උපාලි ධනවලවිතාන ගී පද රචකයාගේ ‘රතුමල් ඕවිල්ලේ ඔබ සතපා ළඳුනේ’ ගීතයත් මේ ඇල්බමයෙ ඇතුළත් වෙනවා.”

මෙම ගීත එකතුවේ ඇතුළත් “තොල ගෑ අමාවේ රහා” ගීතය සුරා පානයට සම්බන්ධ ගීතයක් නේද..?

”ඔව්. සුරා පානයට ලොල් වූ පුද්ගලයකුගේ සිතුවිලි හා ජීවන අත්දැකීම් විවරණය කෙරෙන පරිදි නිර්මාණය කෙරුණු සංකල්පනාවක් තමයි මේ ගීතයේ ඇතුළත් වී තියෙන්නේ. එහෙත් සුරා පානය අනුමත කිරීමක් මින් සිදු කෙරෙන්නේ නැහැ. ළඟදී මේ ගීතය ජාතික රූපවාහිනියේ ‘හඳ රැඳි ගී’ වැඩසටහන සඳහා රූපගත කළා.” (මෙම ලිපිය පළවන ජනවාරි හයවැනි ඉරිදා සවස මෙම ගීතය එම වැඩසටහනින් ප්‍රචාරය වීමට ද නියමිතව ඇත.)

මෙම ගීත ඇල්බමයේ අඩංගු “මොහොතක සුව දෙන චංචල ලෝකේ” ගීතයේ නිර්මාණකරුවන් වන්නේ රූකාන්ත ගුණතිලක (පද රචනය) සහ අර්නස්ට් සොයිසා (තනු නිර්මාණය) නොවේ ද..?

”නැහැ. කුලරත්න ආරියවංශගේ අත් අකුරින් ලියූ මේ ගීතයේ පදමාලාව මා ළඟ තිබිලා මට හමුවුණා. එය වරදින්න බැහැ.”

ඔබ මීට ඉහත ගී ගැයූ “සුන්දර කඳුළු බිංදුව“ ඇල්බමය අසාර්ථක වුණා නේද..?

”අසාර්ථක වුණා ද මං දන්නේ නැහැ. වෙළෙඳ කලාප වල සේවය කරන ගීත රසික රසිකාවියන් ඉලක්ක කරගෙන ඒ ගීත එකතුව කළේ ‘නිල්වලා’ ආයතනය මඟිනුයි. නිෂ්පාදකයින් මට උදව්වක් වශයෙන් කරන්න කිව්වේ. මම ඒ ගීත ගායනා කළේ ලලිත් වසන්තගේ ඉල්ලීමටයි.”

ඔබේ ගීත රිංගින්ටෝන්ස් සඳහා යෙදීමෙන් ඔබට හොඳ ආදායමක් ලැබෙන්න ඇති නේ..?

”මොන... මගේ ගීත රිංගින්ටෝන්ස් සඳහා දීලා තියෙන්නේ මමවත් දන්නේ නැතුවයි. සමහරු ඒ ගීත වලින් ලක්ෂ ගණන් උපයනවා. මගේ කිසිම අවසරයක් නැතුව කොහොම කළා ද කියලා තවම හොයා ගන්න බැහැ. නීති මාර්ගයෙන් පියවර ගන්න පෙර මගේ ගීත දුරකතන සමාගම්වලට විකුණා වංචාවෙන් මුදල් උපයන එක කරුණාකර නවත්වන්න කියා මම එවැනි වංචා සහගත ක්‍රියා කරන පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් ඉල්ලනවා.”

විද්‍යුත් මාධ්‍ය වලින් පෙර මෙන් දැන් ඔබේ ගීත ප්‍රචාරය නොවන්නේ ඇයි..?

විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගීත ප්‍රචාරය වුණත් නැතත් දැන් අවුරුදු හතළිහක් පුරාම මේ රටේ තියෙන සංගීත ප්‍රසංග වල මම ගීත ගයනවා. මගේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා නැහැ විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගී ප්‍රචාරය කළත් නොකළත්. ඒ නිසා එය මට අදාල නැහැ. හැබැයි ඇතැම් නාළිකා වලින් අලුතින් එන සුපිරි තරු ලවා මගේ ගීත කියවා ප්‍රචාරය කරනවා. එය බරපතළ වැරැද්දක්. ඔය සුපිරි තරු ගායකයින්ට ඔවුන්ගේ ගීත තිබෙද්දී ඔවුන් ගැයූ අපේ ගී ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කරන්නේ ඇයි..? සුපිරි තරු ලවා මගේ ගී කියවා නාළිකා වලින් ඒවා ප්‍රචාරය කරන්නේ පි‍්‍රයා සූරියසේනට ප්‍රචාරය ලබා දෙන්නද..? නොඑසේ නම් සුපිරි තරු ගායකයින්ට ප්‍රචාරය දෙන්න ද..? එසේත් නැත්නම් නාළිකා වලට ප්‍රචාරය ලබා ගන්නද..? නාළිකා වලට මං දොස් කියන්නේ නැහැ. ඒත් ඔය කරන වැඩේ වැරැදියි, ඒ නිසා වහාම ඔය කරන වැරැදි වැඩ නවත්වන්න කියලා මම කියනවා.”

ඔබේ පුතා (ලක්ෂිත) ත් ඉදිරියේදී ඔබේ ගී ගයන්න බලාපොරොත්තු වෙනවා ද?

”පුතා ඉගෙනීමේ කටයුතු අවසන් වී ලංකාවට ආවාම ගීත ගායනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතාට ගයන්න මගේ ගීත තියෙන්න ඕනේ, ඒ නිසා මම නැවතත් කියනවා - ‘මගේ සින්දු වෙන කාවත් දාලා කියවා ඒ ගීත ප්‍රචාරය කරන්න එපා. එය වැරැදියි. වහාම ඔය වැරැදි වැඩේ නවත්වන්න’ කියලා.”

-ජෝජ් රොබ්සන් ද සිල්වා
[උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්]

ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක්‌ කියයිදෝ




'ඔබ යළි මගේම වූවොත් 
ලොව මට කුමක්‌ කියයිදෝ '

ආදරය කරන කාලෙ. අපි දෙන්නා ජීවිතේ ගත කළේ කොයිතරම් සුන්දර විදිහටද, ඔයාට මාත්, මට ඔයාවත් නැතුවම බැරි වුණා. අපි නිතරම හමු වුණා. එක විනාඩියක්‌ මට ඔයා නොදැක ඉන්න බැරි වුණා. ඔයාටත් එහෙමයි. ඒ තරමට අපි දෙන්නා අපි දෙන්නට ආදරේ කළා. අපේ මේ අවංක ආදරේ.. ලෝකයට රහසක්‌ වුණේ නෑ. අපි දෙන්නා ආදර්ශවත් පෙම් යුවළක්‌ බවයි ලෝකයා කිව්වේ.

අපි දෙන්නා එකට එකතු වුණා. කසාද බැන්දා. පෙම්වතුන් අඹු සැමියන් වුණා. ආදරේ තව තවත් වැඩි වුණා. අපි දෙන්නා ආදර්ශවත් පවුල් ජීවිතයක්‌ ගත කරනවා කියලා ඉන් පස්‌සේ ලෝකයා කියන්න ගත්තා. ඔයාට මාවත්, මට ඔයාවත් අපි දෙන්නටම අපි දෙන්නව ආඩම්බරයක්‌ වුණා. ඔයා ගැන ලෝකයේ අය මගෙන් අහද්දී. මම හරිම උත්තර දුන්නේ හරිම උද්දාමයෙන්. ඒත්,

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ...
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඒත්... අද...., මගෙන් හැම කෙනෙක්‌ම ඔයා ගැන අහනවා... මට දෙන්න උත්තරයක්‌ නැහැ... මම මොනවද කියන්නේ. ලෝකයා විතරක්‌ ද.... මගේ හිතත් මගෙන් අහනවා ඔයා ගැන... දෙවියනේ.... මමවත් දන්නේ නෑ... ඔයාට මොනවද වුණේ....

මේ ගීය ගයන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි... තනුවත් සංගීතයත් ඔහුගේ. ගීයේ පද රචකයා... මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර... ශෝකී රසයක්‌ උපද්දන ගීයක්‌... සංයෝගයත් වියෝගයත් දෙකම එකට එකතුවුණු නිර්මාණයක්‌.... මේ ප්‍රණීත් ගීත රචනය ගැන දැක්‌වූ අදහස....

"මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌... මේ වගේ අදහස්‌ තියෙන ගීයක්‌ ලියා දෙන්න කියලා සනත් නන්දසිරි සහෘදයා ඉල්ලීමක්‌ කළා. මම ගීය ලියුවා... මේක අත්දැකීමක්‌ නම් නොවේ... සිතිවිල්ලක්‌... රෙකෝඩ් කරන්න සුළු මොහොතකට කලින් ලියෑවුණු ගීයක්‌....

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා මාව දාලා ගිහින්... විශ්වාස කරන්න පුලුවන් ද.... අපි දෙන්නගේ ආදරේ ආදර්ශයක්‌ කරගත්තු ලෝකයා... විශ්වාස කරයිද... ඔයා මාව දාලා ගියා කියලා... නෑ... මගේ හදවත වේදනාවෙන් පුරවලා.... ඔයා ඉවත ගියා කියල මම කීව්වොත්.... කිසිම කෙනෙක්‌ විශ්වාස කරන එකක්‌ නෑ.... මා අතහැරලා ඔයා ගියා... මට දුකක්‌ නෑ කියලා මම කිව්වොත්.... නෑ... ඒත් කිසිවකු විශ්වාස කරන එකක්‌ නෑ... ඔවුන් කියාවි ඇත්තටම මම ඉන්නේ දුකෙන් කියලා.. ඒ තරමට මම ඔයාට ආදරේ කළ බව ඒ අය දන්නවා..... මගේ හදවතේ තවමත් ඔයා කෙරෙහි ආදරයක්‌ ඉතිරිවෙලා තියෙනවා.... කියලා මම කිව්වොත්.... ලෝකයා මට මොනව කියයිද....

මේ ගීය ගසල් ශෛලියට නෑකම් කියනවා... ප්‍රණීත් වචන ටික මට ලියලා දුන්නා.... කිසියම් කෙනෙක්‌ වෙන් වුණාට පස්‌සේ දෙදෙනාගේ සබඳකම හොඳින්ම දැනගෙන සිටි ලෝකයා.... වෙන්වීම ගැන දන්නේ නෑ... පෙම්වතාගෙන් අහනවා පෙම්වතිය ගැන..... ඔහු දෙන උත්තරේ මොකක්‌ද.... මේක තමයි ගීයෙන් කියෑවෙන්නේ... මහාචාර්ය සනත් නන්දසිරි ගීය ගැන එසේ පැවසුවා.

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා ගැන මම ලෝකයාට කිව්වත් නොකිව්වත්.... ඒ අය කවදා හරි දැන ගනීවි ඔයා මාව දාලා ගියා කියලා... ආදර්ශවත් පෙම් යුවළ...... ආදර්ශවත් අඹු සැමියන් දැන්.... වෙන්වෙලා..... කියලා මිනිසුන් අපිට හිනා වෙයි.... ඔයා වැරදි නැහැ... මමයි වැරදි.... කියලා මම ඒ අයට කියන්නම්.... මම හිතන්නේ නෑ... ඔවුන් එය විශ්වාස කරයි කියලා... ඒ අය එක එක කතා හදයි... ඔයා ආයෙත් මා ළඟට එන්න... එහෙම ආවොත්... ලෝකයා.... දොස්‌ කියන්නත් පුළුවන්... දොස්‌ නොකියන්නත් පුළුවන්... කුමක්‌ කියයිද.... කියා හිතන්නවත් බෑ....

සරල පදමාලාවක්‌ වුවත්... එහි ගැබ්ව තිබෙන අදහස... සත්‍යයක්‌... සමාජය... අනෙකා දෙස බලා සිටින අයුරු.... තවකෙකුගේ ජීවිතයට.... සමාජය එබිකම් කර බලන අයුරු.... ඒ නිසාම.... තීන්දු තීරණ ගත නොහැකිව උභතෝකෝටිකව සිතන අයුරු... මේ ගීයෙන් කියනවා.....

~~ මුළු ලොව මගෙන් අසාවී ~~

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි 
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි 
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ගායනය :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය :- මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
සංගීත් :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි 

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

මායාවී ප්‍රේමය හදවත රිදවූයේ


~~ මායාවී ප්‍රේමය හදවත රිදවූයේ ~~

සරසවි ප්‍රේම කතන්දර රසවත්ය. අරාබි නිසොල්ලාස කතන්දර ද රසවත්ය. ඒ ඔබ අසා ඇති විදියටය.සරසවි ප්‍රේමය බොහෝවිට ක්‍රියාකාරීවන්නේ සරසවි අවකාශයේදී පමණක් යැයි ඇතැමුන්ගේ මතයයි.කොහොම වුණත් මේ සරසවියේදි බැඳී හාද ගැන ලියැවුණු කවි එමටය. ගීතද එමටය.අප්‍රමාණිතය. පුදුමෙට වගේ ඒවා මතකයෙන් ගිලිහෙන්නේ ද නැත.එකී ප්‍රේමය බුද්ධියෙන් හදවත දිහා බලයිද හදවතින් බුද්ධිය කිරා බලයිද කියා කාටවත් තක්සේරු කරන්නට බැරිය.කෙසේ වෙතත් අතළොස්සක් වූ සරසවි ප්‍රේමයන් මල්පල ගැන්වෙන බවත් බහුතරයක්ම සැහැල්ලු කෙළිලොල් සබඳතා බවත් සමාජ සම්මතය තහවුරු කරගෙන ඇත්තේය.

~~ තනිවෙන්නට මගේ ලොවේ ~~

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්//

සිව් වසරක පෙම් ගීතය
ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැලඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහිවේදෝ

ගායනය :- ආචාර්ය වික්ටර් රත්නායක
පද :- බුද්ධදාස ගලප්පත්ති
සංගීතය :- රෝහණ වීරසිංහ

කහළ ගොඩේ තිබුණත් මැණික මැණිකමය. ප්‍රේමය කොතැන තිබුණත් වටිනා දෙයකි. ඒත් තිබිය යුතු තැන නොතිබී නොතිබිය යුතු තැනක තිබීම දුකකි. පාසල් ප්‍රේමයන් මෙන්ම සරසවි ප්‍රේමයන් ද අනිවාරත අපතයක යන්නේ ඒ නිසාමය. එවැනි ප්‍රේමයන් බොහෝ විට නූල කඩාගත් සරුංගල් සේ ඈතටම ඈතටම පාවෙයි . අතීතයේදි එසේ සිදුවූයේය.

වර්තමානයේදී එසේ සිදුවෙමින් පවතී. අනාගතයේදී ද එසේ සිදුවෙනවා ඇත. නමුත් හැබෑ ප්‍රේමවන්තයා කිසි දිනෙක වෛරක්කාරයෙකු නොවේ. ඔහුට කවදාවත් වෛර කරන්නට බැරිය. සරසවි පියස්ස යටදීම සිය ප්‍රේමවන්තියට විසිපාරක් පිහියා ඇනුම් දී මරා දැමූ ප්‍රේමවන්තයකු ගැන ඔබත් අසා ඇත. ගසා මරා දමනවාට වඩා ඇයට යන අහක යන්නට හරින්නට ඔහුට බැරි වූයේ කරුමයටය. තම රිදුණු හදවත බුද්ධියෙන් පිරිමැද අස්වසාගන්නට ඒ

ප්‍රේමවන්තයාට නොහැකි වූයේ කරුමයටය.

මේ ගීතයට පාදක වූයේ ද ප්‍රේම පලහිලව්වකි. ඒ ද සරසවි ප්‍රේමයකි. ප්‍රේමය බිඳීයාම නිසා ඇතිවූ ශෝකය මත ආලෝකමය බුද්ධි කදම්භයක් ආරෝපණය කරන්නට බුද්ධිට ඕනෑ විය. ඔහු බුද්ධදාස ගලප්පත්ති නම් වූ කවියාය.

අසූව දශකයේදි බිහිවූ මේ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ය. ගායනා කළේ ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂෙත්‍රයේ ඒක පුද්ගල ප්‍රසංගාවලි ඉතිහාසයේ සදාතනික රත්නමය මුද්‍රාවක් තබන්නට සමත්වූ වික්ටර් රත්නායක නම් වූ සංගීත වේදියාණන්ය. ගණනින් 1400 ඉක්මවූ ඔහුගේ ප්‍රසංගාවලියේදි ද මේ ගීතය ගැයුනේ සුවහසක් පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ බව ඔබට මතකය. බුද්ධි ගීතය ගැන මෙසේ කියයි.

’මේ ගීයට පාදක වුණේ සරසවි ප්‍රේමය. එය ඍජුවම මගේ අත්දැකීමක් නොවුණත් සරසවි බිමේදී නිතර අත්දකින සිදුවීම් ඇසුරින් පරිකල්පනයෙන් තමා ඒ පදවැල නිම වුණේ. බොහෝ සරසවි ප්‍රේම කතා සරසවියෙන්ම කෙළවර වෙනවා යයි සම්මත මතයකුත් තිබෙනවානෙ. මට ඕනෑ කළේ ප්‍රේමයේ වියෝගය වෛරයකට හරවා නොගත් ප්‍රේමවන්තයෙකුගේ චිත්ත ස්වභාවය පෙන්නුම් කරන්නයි..’

ඉතින් පි‍්‍රය සොඳුර ඔබ රිසි තැනකට ඔබ යන්න. මම මගේ ප්‍රේම රැහැනින් ඔබව මුදා හරින්නම්. මා ඔබට වෛර කරන්නේ නැත. නමුත් අප බැඳී උන් ප්‍රේම දැහැනේ මතක අදටත් මා හැර යන්නේ නැත. ඒ මතකය මට වේදනාවකි. ඒ මතකය පොරෝණය කරගත් ඔබේ සුවඳ මා වෙතින් රැගෙන යනු මැනැවි. මට හුරුපුරුදු හුදෙකලාවේ මා නිමග්න කර ඔබ දුරක යනු මැනවි. සිව් වසරක සරසවි පේ‍්‍රම ගීතය නිමා කර ඔබ අලුත් ලොවකට පියනඟයි. ප්‍රේමය මායාවකි. එය ඔබම මට පසක් කළෙහිය.


-යමුනා මලිනී පෙරේරා
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)

මේ වේදනා




මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....
ඇයි මා හඩවලා
අදහන්න බෑ පිලිගන්නේ නෑ....
ඔබමද කියා පෙම් කල කෙනා ඒ

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

ලග උන්නු කාලේ ....
කී කතා සිහිවේ....
අමතක උනාදෝ නිස්කාරනා 
යලි මුන ගැගෙයි නම් 
නාදුනන සේ මං 
මග හැරලා යන්නම්
මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

මා කදුලු අතරේ රදවා තියාලා
ඈතට උනේ ඇයි රහසේ ඔයා....... 
යලි මුන ගැගෙයි නම් 
නාදුනන සේ මං 
මග හැරලා යන්නම්
මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

නාමල් උඩුගම

චන්න කින්නරාවී



'මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී'

~~ ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ~~

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේ
ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්ද චන්නකින්නරාවී

ගායනය :- භාචි සුසාන්
ගී පද :- චරිත් සේනාධීර
තනුව :- කසුන් කල්හාර

සඳ කිඳුරිය... සඳ කිඳුරාට කොතරම් ආදරය කළාද... ඒ ආදරයේ තරම කියන්න වචන මදි... සඳ කිඳුරු ජාතකය... සඳ කිඳුරාගේ ජීවිතය වෙනුවෙන් සඳ කිඳුරිය සත්‍යක්‍රියා කළා. ආදරය එහෙමයි. ඒත් අද ආදරය හරිම වෙනස්‌. පණට පණ දෙන්න ආදරය කළත් කරදර දුක්‌ ගැහැට විඳිද්දී ටික කලකින්ම ඒ ආදරය පෑල දොරින් පලා යනවා.

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

ආදරය කරන කාලෙදි නම් ජීවිතය හරිම සුන්දරයි. ඒත් පවුලක්‌ ලෙස කූඩු වුණාම... කරදර දුක්‌ ගැහැට එමටයි. ජීවිතය ගෙවන්න වෙන්නේ කරදර මැද්දේ. ආදරයට වඩා වගකීම් ගොඩකට මැදිවෙන්න වෙනවා. ආදරය නමැති තිමිර පටලය ඉවත්කරලා ජීවිතයට එබී බලන්න වෙනවා.. හරිම අසීරුයි. සීත සෘතුව... ගෙවාගන්න අසීරු කාලයක්‌නේ. ඉතින් ඒ සීතල මැද්දේ ගිරිදුර්ග පසුකරන්න වුණොත් තවත් අමාරුයි. මගේ ආදර සඳකිඳුරිය එවැනි ගමනක්‌ මා එක්‌ක යන්න එනවද කියල තමයි මේ තරුණයා විමසන්නේ. ආදරයත්, ජීවිතයත් අතර ඇති යථාර්ථය ගැන කියෑවෙන මේ ගීයේ රචකයා චරිත් සේනාධීර. චරිත්ගේ පද පෙළ ගයන්නේ භාවි සුසාන්... තනුව කසුන් කල්හාරගේ.

මේක ලියෑවුණේ විශේෂ අත්දැකීමකින් නොවේ. මෙය හැම කෙනෙකුගේම අත්දැකීමක්‌. අපි මුහුණ දෙන සත්‍යය. මම මේ පද පෙළ ලියලා අවුරුදු දෙකක්‌ විතර ඇති. මුලින්ම භාචිට හරි කසුන්ට හරි දුන්නා. ඉන්පස්‌සේ තනුව හැදුනා. තනුව හදද්දි කසුන් එක්‌ක කතා කළා. වචන දෙකක්‌ විතර වෙනස්‌ කළා. චරිත් ගීයේ උපත ගැන පැවැසුවා.

රළු පොළව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

ආදරේ කරද්දි වගේ නොවේ... අපිට ඉන්පස්‌සේ දිගු ගමනක්‌ යන්න වෙනවා. ඒ ගමන හරිම කටුකයි. ඔයාට ඔරොත්තු දේවිද දන්නෙ නහැ. ගමන හරිම රළුයි. විඩාබරයි. ගිරි දුර්ග මතින් යන මේ ගමනේදි ඔයාගේ ඔය සිනිඳු දෙපා රිදෙන්න ගනියි. හිතට වේදනා ගෙනදේවි. මා එක්‌ක එන්න ගත්තු තීන්දුව වැරදිය කියා හිතලා වේදනා මුසු සුසුම් වාතලයට මුදාහරියි. එතකොට ඔයාගේ හිතේ මා කෙරෙහි ක්‍රෝධයක්‌ වෛරයක්‌ ඇතිවේවි. ඔය හිතේ මා ගැන ආදරයක්‌a ඉතිරි වෙන එකක්‌ නැහැ. ඉතින් ඔයා එනවද මා එක්‌ක යන්න.

ආදරය ලස්‌සන වුණත් ඒ ඇතුලේ ප්‍රායෝගිකව එය විඳිද්ඳි ප්‍රශ්න මතුවෙනවා. චරිත් මීට කලිනුත් ගීත රැසකට පද රචනා කර තිබෙනවා. කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ගයන අනන්තයට යන පාර දිගේ ජනප්‍රියයි. ඔහු මාස්‌හෝල්ඩින්ග් ආයතනයේ මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක්‌.

ගීත රචනය මම පාසල් කාලයේදීම කළා. එකල මම පද්‍ය රචනා තමයි කළේ. කසුන් ඉන්ද්‍රචාප... අපි ආනන්ද විදුහලේ එක පන්තියේ. සංගීතය එක්‌ක තමයි අපි යාළුවෝ හැසිරුණේ.සේල් නමින් පහුගිය දවස්‌වල මගේ පළමු කවි පොතක්‌ නිකුත් කළා. ගීත රචනය, මුදල් හම්බ කරන්න කරන දෙයක්‌ නොවේ. චරිත් පැවැසුවා.

සඳ නිවී ගිය රාත්‍රිය තාරකා ගොළුව ඝන අඳුරේ
ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී

ආකාසේ හඳ නිවී ගියොත් තරු මැකී ගියොත් කොයිතරම් අන්ධකාරද. ඒවගේ රැයක දකින හීන කොයිතරම් සුන්දරද? ආදරය කරද්දී එවැනි හීන දකිනවා. ඒත් ඉන්පසු ඒවගේ සොඳුරු හීනවලට ඉඩ තියේවිද. එදා වගේ අපිට හිනා වෙන්න පුළුවන් වේවිද? කිඳුරියනි.

ජීවිතයේ යථාර්ථය මේ ගීයෙන් කදිමට විග්‍රහ කෙරෙනවා. මතුපිටින් පදපෙළ සරල වුණත් යටිපෙළ අර්ථය හරිම ගැඹුරුයි. ජීවිතය කියන්නේ සින්තටික්‌ සිහිනයක්‌මද... කියා හිතෙනවා. භාචිගේ හැඟීම්බර හඬින් ගීය ඇසෙද්දි කසුන්ගේ තනුවත් පදපෙළට ගී හඬට සාධාරණයක්‌ කර තිබෙනවා. ගීයේ රූප රචනාව ගැනත් සඳහන් කළ යුතුමයි. අරුත දැන ඉතා දක්‌ෂ ලෙස කළ නිර්මාණයක්‌.

- අජිත් අලහකෝන්
(උපුටා ගැනීම ~දිවයින පුවත්පතින්)

ඔබටයි මේ ආරාධනා




ඔබටයි මේ ආරාධනා 
ඔබටයි මේ ආයාචනා 
හිරු සඳු ඇති තුරා 
සසර සරනා තුරා 
ඉන්නට බෑ තරහා වෙලා 

පැව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා //
සිත සැනසුම් සාදනා 
ඔබේ හසරැල් මට වාසනා..

තරහ උනත් දෙදෙනා ඊයේ 
තරහ නොවෙමු කිසිදා ආයේ //
යලි නොම ඒ වේදනා 
ඔබේ හසරැල් මට වාසනා 


~ රෝහණ බෝගොඩ ~

මට හීනයක්‌ වෙලා




මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ
හිත තාම දන්නෙ නෑ මා ඇයි ද පෙම් කළේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස්‌ නොවේ මගේ ආදරේ...//

රෑ දොළොස්‌ පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුණේ...//
අදහන්න බෑ... කඳුළක්‌ ද ආදරේ
නුඹ දන්නෙ නෑ... සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මගේ අම්බරේ
ඇයි ද හැංඟුනේ පෙලා මා අන්ධකාරයේ...//
අදහන්න බෑ කඳුළක්‌ ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

-දමිත් අසංක-

ඇහෙනවා නම් හිත හඬන තරම්




ඇහෙනවා නම් හිත හඬන තරම් 
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ //
පෙර දින රජ මැදුරක උන්නේ 
අද මා මහ මග සැතපෙන්නේ 

පතන පැතුම් සුළඟට මුසුවේ 
මියුරු වදන් කඳුලේ ගොළුවේ //
සතුට උපන් හැම දින වැලලේ 
කුමන නැටුම් දෝ දිවි මඩලේ 

අපගේ අහිංසක ලොව බිඳිලා 
ඔබද අනන්තෙක ඇත රැඳිලා //
ගිනි දළු මා ගත වෙලෙනු දැනේ 
ඔබ මල් යහනක හිඳිනු මැනේ

-එච් ආර් ජෝතිපාල-

රටා මවන මල් පෙති




'රටා මවන මල් පෙති පැහැයෙන් 
හිනා මවන්නට බෑ මට නම්......'

පිණිදිය විසිරෙන හෝරාවේ
නුඹ ඇවිදින්
නුඹ ඇවිදින් මා ළඟ උන්නා
මං නොදන්න නෙක පාට අරන්
ඇස්‌ අග දැවටුන නුඹෙ පෙම් සිතිවිලි
මට දකින්න බැරි නුඹෙ පෙම් සිතිවිලි
සුසුමක දැවටී ළඟ රැඳුනා
මට දැනුණා උණුහුම දැනුණා

රටා මවන මල් පෙති පැහැයෙන්
හිනා මවන්නට බෑ මට නම්
අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
අතැඟිලි පහසක තෙත දැනුණා

ගායනය :- දිනේෂ් එරන්ද
ගී පද :- සෝමලතා හේරත් මැණිකේ
සංගීතය :- රුවන් ශ්‍රී වල්පොල

හරිම අහිංසක ආදරයක්‌... ඔහු ඇය දකින්නේ දෙනෙත්වලින් නොවේ... හදවතින්. ඔහුගේ හදවතට... ඇගේ හදවතේ සුන්දර බව.... අවංක බව දැනෙනවා... ඇයට ඔහුව පෙනෙනවා... ඔහුගේ ලස්‌සන හදවතත් දකිනවා... ඒ නිසා... ඔහුගේ දෙනෙත්... ඇගේ ආදරේට බාධාවක්‌ නොවේ... අවංක ආදරය.... අවසානයේ ජයගත්තා...

පිණිදිය විසිරෙන හෝරාවේ
නුඹ ඇවිදින් - නුඹ ඇවිදින්
මා ළඟ උන්නා
මං නොදන්න නෙක පාට අරන්...

ඇය ඔහු හමුවට ආවේ උදේ පාන්දර... පින්න වැටෙන වෙලාවේ... ඈ ආ බව ඔහුට දැනෙනවා... දෙනෙතට ඇගේ රුව නොපෙනුණත් ඈ ඇවිත්... මල්වල පාට... ඔහු හඳුනන්නේ නැහැ. ඒත්... ඇය ඔහු ළඟ ඉන්නවා. ඒ ලස්‌සනම ලස්‌සන මල් පොකුරක්‌ අරගෙන.

මේ සිංදුව ගයන්නේ ඇත්තටම දෙනෙත් නොපෙනෙන තරුණයෙක්‌. මේ වන විටත් ගීත කීපයක්‌ම ගයා ඇති ඔහු දිනේෂ් එරන්ද... දිනේෂ්ට මේ සිංදුව ලියලා දුන්නේ සෝමලතා හේරත් මැණිකේ... මහනුවර රෝහලේ විශේෂ අක්‍ෂි තාක්‍ෂණවේදිනියක්‌... මේඛලා ගමගේට "අහන් ඉන්න... අහගෙන ඉන්න..." සිංදුව ලියල දුන්නෙත් හේරත් මැණිකේ.

රත්මලාන අන්ධ විද්‍යාලයේ මා එක්‌කම ඉගෙන ගත්ත යාළුවෙකුගෙ අත්දැකීමක්‌. ඒ අත්දැකීම දවසක්‌ මට කිව්වා... මම ඒ කතාව සෝමලතා මහත්මියට කියලා සින්දුවක්‌ ලියාගත්තා. මගේ යාළුවට ඇස්‌ පෙනෙන තරුණියක්‌ ආදරය කළා. ඒ ආදරයට යාළුවාගේ දෙනෙත් බාධාවක්‌ වුණේ නෑ. ඔවුන් ආදරයෙන් ජය ලැබුවා. දැන් විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක්‌ ගෙවනවා. දිනේෂ් එරන්ද ගීයේ වස්‌තු බීජය පැහැදිලි කළා.

ඇස්‌ අග දැeවටුන නුඹෙ පෙම් සිතිවිලි
මට දකින්න බැරි නුඹ පෙම් සිතිවිලි
සුසුමක දැවටී ළඟ රැඳුනා
මට දැනුණා උණුහුම දැනුණා

ඇගේ දෙනෙත්වලින් ආදරය වෑහෙනවා. ඒත් ඒ ඇස්‌ දෙකෙන් කියන ආදරය.. ඔහුගේ ඇස්‌ දෙකට පෙනෙන්නේ නෑ. ඒත් ඒ ආදර සිතිවිලි ඔහුට දැනෙනවා. ඇගේ ආදරණීය සුසුම් සමග මුහුවෙලා... ඒ ආදර සිතිවිලි ඔහුගේ ගත දැවටෙනවා. ඈ ඔහුට ළං වෙලා. ඇගේ සුසුමේ උණුසුම... ඔහුට දැනෙනවා... ඒ ආදරයේ උණුහුමයි.

මගේ ගම පානදුර පිංවත්තේ... මම මීට කලින් "මිතුරියේ..." නෙත්පුරා, "කිමදොa ළඳුනේ" කියන සිංදු තුන ගායනා කළා. ඒ සිංදු තුනත් කුඩා කාලයේදීම මියගිය පුංචි නංගී වෙනුවෙනුත් ගීයකුත් මා විසින්මයි රචනා කළේ. පොඩි කාලේ මගේ ඇස්‌වල පෙනීම තිබුණා. පානදුර රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ... සාමාන්‍ය පෙළ කරද්දී ඇස්‌ දෙකේ පෙනීම අඩු වුණා. අකුරු ලියන්න බෑ. පොත් පිටුවල රූල් පෙනෙන්නේ නැතුව ගියා. දොස්‌තරලා කිව්වා ග්ලුකොමා තත්ත්වයට ආවා කියලා. අවුරුදු විසිතුනේදී පෙනීම නැතිවෙලාම ගියා. රත්මලාන අන්ධ විද්‍යාලයෙන් බ්‍රේල් ක්‍රමයට සාමාන්‍ය පෙළ කළා. පෙරදිග/බටහිර සංගීතයත් හැදැරුවා.

රටා මවන මල් පෙති පැහැයෙන් හිනා මවන්නට බෑ මට නම්
අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
අතැඟිලි පහසක තෙත දැනුණා.

පාට පාට... රටා මවන මල් පිපෙනවා... දකින්න ඔහුට වාසනාවක්‌ නෑ. ඒත්... ඇයට මේ හැම දෙයක්‌ම පෙනෙනවා. ඒ පෙනෙන හැම දෙයක්‌ම ඈ ඔහුගේ ලෝකයට ගෙනෙනවා. ඔහු අඳුරෙන් මුදා ගන්න ඇය පහනක්‌ වෙලා. ඇගේ අතැඟිලිවලින් ඔහුට දැනෙන්නේ කියාගන්න බැරි තරමට ඈ තුළ ඇති ආදරයයි.

මම දැන් පරිගණක පාඨමාලාවක්‌ හදාරනවා. ඒ අතරෙම දුරකථන ක්‍රියාකරවන්නකු ලෙස පාඨමාලාවක්‌ හැදැරුවා. රැකියාවල් හොයනවා.

මගේ මේ සිංදුවේ විෂුවල් වල අමුත්තක්‌ තියෙනවා. ඒවායේ තියෙන්නේ චිත්‍ර... මේ චිත්‍ර ඇන්දේ මහනුවර රෝහලේ විශේෂඥ අක්‍ෂි තාක්‍ෂණවේදිනියක වන ලලනි සේනාධීර මහත්මියයි. රුවන් ශ්‍රී වල්පොල සොහොයුරා තනු නිර්මාණය කළා. මේ හැම කෙනෙක්‌ම ගීයට දායක වුණේ මගෙන් සත පහක්‌වත් අය නොකර... මම තවම යෑපෙන්නේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. රැකියාවක්‌ ඉක්‌මනින් ලැබුණොත් සතුටක්.

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

එපා යලි හමුවන්න




එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මඟ 
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ 
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ 
ඔබේ ජීවන සුවඳ අරං ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනෙක 
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව 
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස 
ගලා යයි අතීතේ මිය ඇදුනු සොහොන ළඟ

ඔබ මවෙත තිලින කල ඔබේ බැතිබර සුවඳ 
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත 
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන 
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න

~ සුනිල් එදිරිසිංහ ~

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම් 
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙම් //
හදවත ගැහෙනා රිද්මය අතරේ 
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු 

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා 
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ 
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු 

-සුනිල් එදිරිසිංහ-

අම්මාවරුනේ




අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා....

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ…

-නන්දා මාලනී-

ඉපදී ලොවේ




සිනහ කඳුළු එනවා... යනවා...

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ...
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
සිනහ කඳුළු එනවා.. යනවා...

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ....
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ....
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි...

භවයෙන් භවේ....

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ...
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ...
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ...

ගායනය :- ග්‍රේෂන් ආනන්ද
පද රචනය :- හේමසිරි හල්පිට
සංගීතය :- සරත් ද අල්විස්
චිත්‍රපටය :- මමයි රජා
අධ්‍යකෂනය :- සුනිල් සෝම පීරිස්
තිර ගතවු දිනය :- 1989.01.06
රගපෑම් :- විජය කුමාරතුංග & සබීතා පෙරේරා & ජීවන් කුමාරතුංග 

අන්තයක් වී




අන්තයක් වී 
ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...
මේ සුරම්‍ය පාරාදීසේ 
හදවතින් උමතුවූ 
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ 

නීල දිලෙන නිම්නයේ 
සුමුදු සයනයේ 
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වාප්නයක්ද මේ තරම් පුදුම වූ 

ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...
මේ සුරම්‍ය පාරාදීසේ 
හදවතින් උමතුවූ 
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ 

කැකුළු හදින හිරිපොදේ 
පිපුණු සීතලේ 
දෙතොල් පෙති ලිහ ලිහී ලිහී 
මධුවිතක්ද මේ තරම් මධුර වූ 

ඔබේ ආදරේ ....

-රූකාන්ත & චන්ද්‍රලේඛා-