සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...//

මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී...

කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකී
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ...



ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය :- දයා ද අල්විස්‌
සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩ

ආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්‍ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස්‌ ගසකට සමානයි කියලනේ කියන්නේ. ආදරය වෛරයක්‌ බවට පෙරළෙන්නේ හැරයාමත් සමගින්. ඒත් හැම වෙන්වීමක්‌ම වෛරයකින් කෙළවර වෙන්නෙත් නැහැ.

මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්‌මන් ගමනේ...

අපි දෙන්නා... කොයිතරම් ආදරෙන්ද හිටියේ... දෙන්නට දෙන්නා නැතුවම බැරිවුණා. ඒ නිසා අපි කූඩු වුණා.. ආදරේ... වෙනදටත් වඩා වැඩි වුණා... ඒත්... ඒ කොයිතරම් කෙටි කාලයකටද... ඔයා මගෙන් වෙන් වුණා. හිතාගන්නවත් පුලුවන්ද... සමහරවිට මගේ වරදක්‌ වෙන්නැති. ඔයා වෙන්ව ගියේ ද්වේෂයෙන් නොවේ. මගේ හිස ආදරෙන් පිරිමදිමින් ඔයා මගෙන් සමුගත්තේ. ආයෙ නොඑන බව කියමින්... ඒ සමුගත් මොහොතේ මතකය... තවමත් මගේ හිතෙන් මැකී ගිහින් නෑ...

දයාද අල්විස්‌... අපේ හිතාදර මාධ්‍යවේදිනිය නිවේදිකාව ලියූ තවත් හැඟුම්බර ගීයක්‌... ගයන්නී ඉන්ද්‍රාණි බෝගොඩ ඒ හඬත් හරිම හැඟුම්බරයි තනුව සංගීතය. ප්‍රවීණ සංගීතඥ චන්ද්‍රදාස බෝගොඩගේ

මේක මගේ අත්දැකීමක්‌ නම් නොවේ. වෙන කෙනකුගේ අත්දැකීමක්‌ වුණත් අපිට පුලුවන්නේ අපේ අත්දැකීමක්‌ බවට පත්කරගෙන නිර්මාණයකට නගන්න. ඉන්ද්‍රානි ඉල්ලීමක්‌ කළේත් නැහැ මේ විදිහට ලියන්න කියලා... ඒත් ඉතින්... මේ කතාව මට ගුවන්විදුලියේ හිතවතෙක්‌ කියූ සිද්ධියක්‌. ඒ දයාද අල්විස්‌ ගී පද රසිකාවිය පැවැසුවා.

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරණ වී
නෑ කිසිදින තනිවී

ඔයාට මං කොයිතරම් ආදරය කළාද ඒ ආදරයේ තරම මට දැනුනේ ඔයා මගෙන් ඈත්ව ගියාට පස්‌සේ. එදා ඔයා මගෙන් වෙන්ව යද්දී මට දැනුණා. ජීවිතයක්‌ මට ලැබුණේ ඔයා නිසා බව. ඒත් එදා මං අසරණ වුණා. කවදාවත් නොදැනුණු තනිකමක්‌ එදා ඒ මොහොතේ මට දැනුණා.

කිසි ලෙසකින්වත් වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකි
ඒ හිමිකම හැඟුනේ
ඔබ යළි ආ දිනයේ

ආදරය කොහොමද මම තේරුම් කරලා දෙන්නේ... ආදරයක්‌ නැතුව මම කොහොමද ඉන්නේ ඒක මට අයිතියි. ඒ බව මට දැනුණා. කිසිදා නැවත නොඑන්න ගිය ඔබ ආයෙත් මා සොයා ආ දා... මට හැඟුණා. ආදරයට අයිතියක්‌ හිමිකමක්‌ මටත් තියෙනවා කියලා.

ඇයට ඉවසුම් නැහැ. හැරදමා ගිය කෙනෙක්‌ ආපසු ආවොත්... ඒක අදහන්නත් බැරි තරම් සතුටක්‌ ආදරය හිතේ තියාගෙන සමුගන්නා අයත් ඉන්නවා... එවැනි කෙනෙක්‌ තමයි ඔහු. ඔහු ද්වේෂයෙන් ඈ හැර ගියා නම්... යළි කිසිදා එන්නේ නෑ... ඔහු යළි ආවා. ඒ ඇය ගැන හිත තුළ අනුකම්පාවක්‌ තිබෙන නිසා.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)
Share this article :

ඔබේ අදහස්