සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

'මියෙන ලොවක නොමියෙන මතකය...'

විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක්‌ සපිරේ




විජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක්‌ සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක්‌ දීර්ඝ එකක්‌ වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා කීර්තිමත් බණ්‌ඩාරනායක පවුලට සම්බන්ධවීම එක්‌ අතකින් සිනමා කතාන්තරයක්‌ තරමටම අද්භූත එකකි. එහෙත් එය සිදු විය. මේ රටේ අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක්‌ මෙන්ම ප්‍රථම විධායක ජනාධිපතිනියද වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මෙනෙවියගේ අතගත් විජය සිය දහස්‌ ගණන් නව යොවුන් යුවතියන්ගේ සිහින කුමරා වූ බවද නිසැකය.

2013 පෙබරවාරි 16 වන දිනට හරියටම විජය ඝාතනය වී වසර 25 ක්‌ සපිරුණි. සිය නොකල් සමුගැනීම සිදු වන විට විජය ශ්‍රී ලාංකික දේශපාලනයේ අධිපතිවාදී දක්‌ෂිණාංශික කඳවුර සමග තීරණාත්මක සටනක නිරතව සිටියේය. එවක පසු බසිමින් තිබුණු සාම්ප්‍රදායික වමේ පක්‌ෂවලද ආශීර්වාදය ලද විජය ඡේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන විජිතයට එරෙහිව කැරැලි ගැසීමට තරම් නිර්භය විය. එහි ප්‍රතිඵලය වූයේ විජය නැක්‌සලයිට්‌ චෝදනා ලැබ සිරගත කිරීමය.

විජය සිරගෙදරදී මුහුණ දුන්නේ අතිශය අමිහිරි අත්දැකීම් මාලාවකට බව ඔහු පසු කලෙක කියා තිබුණි. අඳුරු සිර කුටියක රඳවා සිටි විජයගේ දෑස්‌ නොපෙනී යැමේ අනතුරක්‌ එල්ල වෙද්දී ඔහුට හිරු එළිය ලබා දෙන්නට එදා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දැරූ ප්‍රයත්නය අපට මතකය. ඡේ. ආර්.ට විජය තරම් දේශපාලන සතුරෙක්‌ නොවූ සෙයකිෘ අප අසා ඇති පරිදි ඡේ. ආර්.ගෙන් විජයට යම් සහනයක්‌ ලබාදීමටත් පසුව නිදහස්‌වීමටත් හැකි වූයේ කවදත් දේශපාලන හා සමාජ ක්‌ෂේත්‍රයෙහි ප්‍රබල හිමි නමක්‌ වන ගලබොඩ ඥනිස්‌සර හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසාය.

හිරගෙදරින් නිදහස ලත් විජය සිය දේශපාලන ගමනෙහි අතිශය තීරණාත්මක කඩඉම වූ මහර අතුරු මැතිවරණයට මුහුණ දුන්නේය. විජය පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්‌වීමට ඡේ. ආර්. ගත් ප්‍රයත්නය එදා ඉමහත් විවාදාත්මක නාටකයක්‌ වූ අයුරු අපටද මතකය. මැතිවරණ ප්‍රතිඵලය දෙස රටම බලා සිටියේය. විජය ඡන්ද 45 ක්‌ වැනි සුළු ගණනකින් පරාජයට පත් වූ බව නිවේදනය විය. විජයට තැබූ වෙඩිල්ල එදා වැරදුණි. ඔහු වෙනුවෙන් ඔහුගේ සහායකයකු දිවි දුන්නේය.

විජයගේ දේශපාලනය නොඉවසූ තවත් අය ශ්‍රිලනිපයේද වූහ. ජනතාවාදී නායකයකු ලෙස විජයට හිමිව තිබූ ජනප්‍රියත්වයත්, ආකර්ෂණයත් ඔහු නොඉවසූ පිරිස්‌වලට දිරවා ගත නොහැකි විය. විජය මහජන පක්‌ෂය ආරම්භ කරන්නේ ඒ අත්දැකීම් සමගය. මේ වන විට එල්ටීටීඊ සංවිධානයද උතුර සිය අණසකට නතු කර ගෙන තිබුණි.

ශ්‍රීලනිපයෙන් වෙන්ව ගිය වාම බලවේගද එක්‌කර ගත් විජය උතුරේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටි දකුණේ නායකයකු ලෙස ක්‍රියා කරමින් සිටියේය. විජය උතුරට පමණක්‌ නොව ඉන්දියාවටද ගොස්‌ කොටි ක්‍රියාකාරීන් සමග කතාබහකද නිරත විය. යාපනයට ගිය විජයට එහි සාමාන්‍ය ජනතාව කියා සිටියේ ඊළාම් ඕනෑ බවය. එවිට විජය නිර්භයව කීවේ ඊළාම් එපා සමගිව ඉඳිමු යන්නයි. එහිදී ජනතාව ඔල්වරසන් දෙමින් එය අනුමත කළ බවද කියති.

ප්‍රභාකරන්ගේ තහනම් අඩවියක්‌ බවට පත්ව තිබුණු යාපනයට පා තැබීමේ වරම විජයට හිමිවීම ගැනද එවක පාලකයන් තුළ දොම්නසක්‌ තිබුණු බවද නිසැකය. ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ වීරයා බවට පත්ව සිටි ඇම්. ජී. ආර්. මෙන් ලංකාවේ එබඳු චරිතයක්‌ ලෙස විජයට ඉඩදීම ඔවුන් අපේක්‌ෂා නොකළ දෙයකි. එහෙත් විජය නතර කිරීමට මගක්‌ද නොවීය.

විජය ඝාතනය වන්නේද ඒ පසුබිම තුළය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට සිය සැමියා වූ බණ්‌ඩාරනායක අගමැතිවරයා අහිමි වූයේද දේශපාලනය නිසාය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායකද සිය මව මුහුණ දුන් දෛවයේ සරදමටම මුහුණ දුන්නාය. ඒ වන විට විජයට යශෝධරා දියණියත් විමුක්‌ති පුතාත් වූහ.

විජයගේ මළගම ඔහුගේ සිනමා රසිකයන්ට සෝබර අත්දැකීමක්‌ වුවත් එය දේශපාලන ලෝකය තුළ අලුත් ප්‍රබෝධයකට නිමිත්තක්‌ද විය. මගේ මතකය නිවැරැදි නම් එදා චන්ද්‍රිකා රතු සොහොයුරන් සමග විජයගේ දේහය ඉදිරිපිට වමේ එකමුතුවට දිවුරුම් දීම සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාට ඉහිලුම් නොදෙන්නක්‌ විය.

ශ්‍රී ලාංකික දේශපාලනයේ මතු මහල මත සිටි විජයට ඒ වන විට ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක්‌ හෝ නොවීම හේතු ලෙස දක්‌වා විජයගේ අවසන් කටයුතුවලට නිදහස්‌ චතුරස්‍රයෙහි ඉඩ නොදීමටද සමහරු දත කෑහ. එහෙත් ඒ වනවිට ජනගඟ ගලමින් තිබුණේ විජයට පක්‌ෂවය. ඒ ජනතා සෝ සුසුම් මැද විජය දැයෙන් සමුගෙන ගියේය.

විජයගේ දේශපාලනය එතනින් අවසන් වුවද ඔහුගේ ඝාතන රහස්‌ තවමත් වැළලී තිබෙන බව සිතන අයද සිටිති. විජය ඝාතනය කළ තුවක්‌කුව හා වෙඩි වරුසාව වැස්‌සූ අත හඳුනා ගත්තත් එය මෙහෙයවූ අය කවරහුදැයි තවමත් රහසකි. විජය සිය සන්සුන්, එහෙත් උද්යෝගී ස්‌වරයෙන් "සහෝදර සහෝදරියනි"යි එදා නැගූ හඬ තවමත් ඔහුට ආදරය කළ ජනතා හදවත් තුළ රාව ප්‍රතිරාව නඟන බව මගේ අදහසය.

විජය පිළිබඳ ලියෑවෙන මේ කෙටි සටහනට ඔහුගේ හෘදයාංගම ක්‍ෂෙත්‍රය වූ සිනමාව පිළිබඳවද වචනයක්‌ එක්‌ නොකළ හොත් අඩුවකි. බොහෝදෙනකු විසින් දන්නා, ජනප්‍රියම ආරම්භය ලෙස, සඳහන් කරන "හන්තානේ කතාව" චිත්‍රපටය ඔස්‌සේ ඔහු වේගයෙන් සිංහල සිනමාවේ ප්‍රමුඛ චරිතාංග නළුවා ලෙස පෙරමුණටම ගමන් කළේය.

විජය වඩාත් ආකර්ෂණීය නළුවා බව අමුතුවෙන් කිව යුතු නැත. ස්‌ත්‍රී - පුරුෂ ප්‍රේමයේ සුකුමාර ආධ්‍යාත්මය පුබුදු කළ විජයගේ රංගනය වාණිජ සිනමාවේ මුද්‍රාව බවට පත්ව තිබුණි. විජය - මාලනී යුවළ අප්‍රමාණ සිනමා කලා රසිකයන්ගේ නෙතට, හිතට ශාන්තියක්‌ බඳු විය. නව යෞවනයන්ට ප්‍රේමයේ මාධූර්ය පසක්‌ කළෝ ඔවුහුමය. සනාතන ප්‍රේමයක විචිත්‍ර හැඟීම් ගලා යද්දී විජයත් මාලිනීත් හෙළ සිනමාවේ සිහින කුමරු හා කුමරිය ලෙස අභිෂේක ලදහ.

විජය සිය සිනමා ජීවිතයෙහි ගැඹුරු හා බැරෑරුම් නිරූපණ දෙසට යොමු වූයේ අඩුවෙන්ය. ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමාවේදී විජය අපට හමුවන්නේ සිහින තාරුකාවක්‌ ලෙස නොවේ. සුනිල් ආරියරත්නගේ ක්‍රිස්‌තු චරිතයට විජය පණ දෙන්නේද ඒ ප්‍රතාපවත් ආධ්‍යාත්මයත් මනුෂ්‍යත්වය පිළිබඳ දයාව මෙන්ම දේශපාලන හා වෙනත් ඕනෑම වධ හිංසාවක්‌ ඉසිලීමට තරම් අධිෂ්ඨානයක්‌ තමා තුළ වූ බවම සංකේතවත් කරමින් බව මගේ අදහසය.

විජයට සිය රංග පෞරුෂයට නොදෙවෙනි හඬ පෞරුෂයක්‌ද විය. විජය සිය ජීවිත ගමන ගැන කළ බොහෝ සඳහන්වලදී ගායකයකු වීමට තමා තුළ වූ අභිලාෂය පිළිබඳවද සඳහන් කර ඇත. ඔහු වරක්‌ විශිෂ්ට සංගීතඥයකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙන් සංගීතය හා ගායනය පිළිබඳ අවිධිමත් පුහුණුවක්‌ ලද බවද කියති. සැබැවින්ම ඔහුගේ හඬටද රසිකයෝ අප්‍රමාණව ප්‍රිය කළහ. සියුම් සත්සර සමඟ මුසුව නිම්නාද වන විජයගේ භාව පූර්ණ හඬ විඩාපත් ජන හද සුවපත් කරවන ශාන්තියක්‌ බඳු විය.

විජය කිසිවිටෙක තම ජනප්‍රියත්වය හෝ සමාජ වරප්‍රසාදවලින් අහසට නැගුණේ නැත. ඔහු නිරතම කතා කළේත් ආදරය කළේත් දූවිල්ලෙන් උපන් පන්ති සමාජයේ පුංචිම මිනිසාටය. විජයගේ හද මඬල කිසිදිනක මිලාන නොවන සුරත් කුසුමක්‌ වැන්න. විජයගේ ලෝකයේ ඉහළම ආදරය හිමි වූයේ ඔහුගේ අම්මාටය. විජය සිය එකම දියණිය වූ යශෝධරාටත් එකම පුතු වූ විමුක්‌තිටත් දැක්‌වූයේද හැම දුවකටම පුතකුටම දක්‌වන ආදරය යෑයි මම සිතමි. ඒ තරම් අව්‍යාජ සෙනෙහසක්‌ දරුවන්ට දැක්‌වූ දයාබර මිනිසෙක්‌ තවමත් මට හමුවී නැත.

විජය හිරගෙදර සිට ලියූ ලිපිවලින් අමතා තිබුණේ යශෝධරා හා විමුක්‌ති බව මට මතකය. එහෙත් ඒ ඇමතුම් ඉතා පැහැදිලි දේශපාලන හා සමාජ වෙනසක්‌ අපේක්‌ෂාවෙන් කරන ලද බව ඉතා පැහැදිලිය. ළමා වියේ විජය මුහුණ දුන් අමිහිරි මතක සටහන්වල පාඩම්ද ඇතැම් ලිපියක තිබුණු වග මට සිහිවේ. ඒ ලිපිවලින් ගලා ගියේ පන්ති සමාජයක පීඩිතයන්ගේ විමුක්‌තිය පිළිබඳ වූ අව්‍යාජ හැඟීම් සමුදායකි. දෛවය විසින් ඔහුට විවර කළ හැම දොරටුවක්‌ම සදාකාලිකවම වසා දැමීමට ඒ දෛවයම ඉඩ සැලසීම මට තවමත් තේරුම් ගත නොහැකිය. හද ගණඳුර බිඳ දිලිහි දිලිහී හිනැහෙන සොඳුරුම මතකයක්‌ සේ විජය හැමදාමත් ජන හද තුළම සුපිපී රැඳෙනු කවුරු වළක්‌වත්ද?

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)
Share this article :

+ comments + 1 comments

February 16, 2013 at 9:40 PM

නිරහංකාර හිත හොද රත්තරන් මනුස්සයෙක් කියලා තමයි අහලා තියෙන්නේ...අවාසනාවකට අපිට තේරෙන කාලේ වෙනකොට විජය කුමාරතුංග කියන චරිතේ මේ ලෝකේ නෑ...වටින ලිපියක් මචෝ..

ඔබේ අදහස්