සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!




'මගේ සින්දු සුපිරි තරු ලවා කියවා ප්‍රචාරය කරන්න එපා..!'
- පි‍්‍රයා සූරියසේන

සිංහල ගීත ක්ෂේත්‍රයේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ගායන ශිල්පීන් අතර “පි‍්‍රයා” කී පමණින්ම ගීත ශ්‍රාවකයින් හඳුනන ඔහු පි‍්‍රයාදර ගායන ශිල්පි පි‍්‍රයා සූරියසේන ය. මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි පි‍්‍රයාට ආරාධනා කළේ දිගු නිහැඬියාවකට පසුව ඔහු සිය ගීත ඇල්බමයක් (“මල්සර හිනාව“) එළිදැක්වීම නිමිත්තෙනි.

පැරැණි ගීතයක නමින් අලුත් ගීත ඇල්බමයක් එළිදැක්වූවේ ඇයි...?

”මේ ගීත එකතුවේ එදා මෙදා මා ගැයූ ගීත දාසයක් ඇතුළත් වෙනවා. මේ ගීත සියල්ලටම මං එක වගේම ආසයි. ‘මල්සර හිනාව‘ මේ ගීත එකතුව හඳුන්වන්න ලස්සන නමක් කියා හිතුණු හින්දා යොදා ගත්තා.”

”මල්සර හිනාව“ සඳහා නිර්මාණ දායකත්වය කාගෙන් ද..?

”ගී පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ, රෝහණ හෙට්ටිආරච්චි සහ නීතිඥ විමල් වීරරත්න ආදීන්ගේ දායකත්වයෙනුයි. සංගීතවත් කළේ මමයි. විශේෂයෙන් තැටි ගත නොකර මා ළඟ තිබුණු ප්‍රේමකීර්තිගේ ගීත වැඩි ගණනක් මේ ඇල්බමයට ඇතුළත් කළා.”

එම නිර්මාණ මොනවාද..?

”ගීත ශ්‍රාවකයින්ගේ ආදරය දිනා ගත් ‘තොළ ගෑ අමාවේ රහා’ – ‘කිරි සයුරේ රැල්’ – ‘මේ අත් බවේ පුරා’ – ‘සැන්ඳෑ යාමේ’ – ‘ආදරණීය නේරංජනා’ – ‘ඔබ කඳුළේ උපතයි’ වැනි ඒ ගීත ප්‍රේමකීර්ති ලියූ ගී අතර ප්‍රධානයි. ඒ වගේම ජීවතුන් අතර නැති උපාලි ධනවලවිතාන ගී පද රචකයාගේ ‘රතුමල් ඕවිල්ලේ ඔබ සතපා ළඳුනේ’ ගීතයත් මේ ඇල්බමයෙ ඇතුළත් වෙනවා.”

මෙම ගීත එකතුවේ ඇතුළත් “තොල ගෑ අමාවේ රහා” ගීතය සුරා පානයට සම්බන්ධ ගීතයක් නේද..?

”ඔව්. සුරා පානයට ලොල් වූ පුද්ගලයකුගේ සිතුවිලි හා ජීවන අත්දැකීම් විවරණය කෙරෙන පරිදි නිර්මාණය කෙරුණු සංකල්පනාවක් තමයි මේ ගීතයේ ඇතුළත් වී තියෙන්නේ. එහෙත් සුරා පානය අනුමත කිරීමක් මින් සිදු කෙරෙන්නේ නැහැ. ළඟදී මේ ගීතය ජාතික රූපවාහිනියේ ‘හඳ රැඳි ගී’ වැඩසටහන සඳහා රූපගත කළා.” (මෙම ලිපිය පළවන ජනවාරි හයවැනි ඉරිදා සවස මෙම ගීතය එම වැඩසටහනින් ප්‍රචාරය වීමට ද නියමිතව ඇත.)

මෙම ගීත ඇල්බමයේ අඩංගු “මොහොතක සුව දෙන චංචල ලෝකේ” ගීතයේ නිර්මාණකරුවන් වන්නේ රූකාන්ත ගුණතිලක (පද රචනය) සහ අර්නස්ට් සොයිසා (තනු නිර්මාණය) නොවේ ද..?

”නැහැ. කුලරත්න ආරියවංශගේ අත් අකුරින් ලියූ මේ ගීතයේ පදමාලාව මා ළඟ තිබිලා මට හමුවුණා. එය වරදින්න බැහැ.”

ඔබ මීට ඉහත ගී ගැයූ “සුන්දර කඳුළු බිංදුව“ ඇල්බමය අසාර්ථක වුණා නේද..?

”අසාර්ථක වුණා ද මං දන්නේ නැහැ. වෙළෙඳ කලාප වල සේවය කරන ගීත රසික රසිකාවියන් ඉලක්ක කරගෙන ඒ ගීත එකතුව කළේ ‘නිල්වලා’ ආයතනය මඟිනුයි. නිෂ්පාදකයින් මට උදව්වක් වශයෙන් කරන්න කිව්වේ. මම ඒ ගීත ගායනා කළේ ලලිත් වසන්තගේ ඉල්ලීමටයි.”

ඔබේ ගීත රිංගින්ටෝන්ස් සඳහා යෙදීමෙන් ඔබට හොඳ ආදායමක් ලැබෙන්න ඇති නේ..?

”මොන... මගේ ගීත රිංගින්ටෝන්ස් සඳහා දීලා තියෙන්නේ මමවත් දන්නේ නැතුවයි. සමහරු ඒ ගීත වලින් ලක්ෂ ගණන් උපයනවා. මගේ කිසිම අවසරයක් නැතුව කොහොම කළා ද කියලා තවම හොයා ගන්න බැහැ. නීති මාර්ගයෙන් පියවර ගන්න පෙර මගේ ගීත දුරකතන සමාගම්වලට විකුණා වංචාවෙන් මුදල් උපයන එක කරුණාකර නවත්වන්න කියා මම එවැනි වංචා සහගත ක්‍රියා කරන පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් ඉල්ලනවා.”

විද්‍යුත් මාධ්‍ය වලින් පෙර මෙන් දැන් ඔබේ ගීත ප්‍රචාරය නොවන්නේ ඇයි..?

විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගීත ප්‍රචාරය වුණත් නැතත් දැන් අවුරුදු හතළිහක් පුරාම මේ රටේ තියෙන සංගීත ප්‍රසංග වල මම ගීත ගයනවා. මගේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා නැහැ විද්‍යුත් මාධ්‍ය වලින් මගේ ගී ප්‍රචාරය කළත් නොකළත්. ඒ නිසා එය මට අදාල නැහැ. හැබැයි ඇතැම් නාළිකා වලින් අලුතින් එන සුපිරි තරු ලවා මගේ ගීත කියවා ප්‍රචාරය කරනවා. එය බරපතළ වැරැද්දක්. ඔය සුපිරි තරු ගායකයින්ට ඔවුන්ගේ ගීත තිබෙද්දී ඔවුන් ගැයූ අපේ ගී ගුවන් විදුලි නාළිකා වලින් ප්‍රචාරය කරන්නේ ඇයි..? සුපිරි තරු ලවා මගේ ගී කියවා නාළිකා වලින් ඒවා ප්‍රචාරය කරන්නේ පි‍්‍රයා සූරියසේනට ප්‍රචාරය ලබා දෙන්නද..? නොඑසේ නම් සුපිරි තරු ගායකයින්ට ප්‍රචාරය දෙන්න ද..? එසේත් නැත්නම් නාළිකා වලට ප්‍රචාරය ලබා ගන්නද..? නාළිකා වලට මං දොස් කියන්නේ නැහැ. ඒත් ඔය කරන වැඩේ වැරැදියි, ඒ නිසා වහාම ඔය කරන වැරැදි වැඩ නවත්වන්න කියලා මම කියනවා.”

ඔබේ පුතා (ලක්ෂිත) ත් ඉදිරියේදී ඔබේ ගී ගයන්න බලාපොරොත්තු වෙනවා ද?

”පුතා ඉගෙනීමේ කටයුතු අවසන් වී ලංකාවට ආවාම ගීත ගායනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතාට ගයන්න මගේ ගීත තියෙන්න ඕනේ, ඒ නිසා මම නැවතත් කියනවා - ‘මගේ සින්දු වෙන කාවත් දාලා කියවා ඒ ගීත ප්‍රචාරය කරන්න එපා. එය වැරැදියි. වහාම ඔය වැරැදි වැඩේ නවත්වන්න’ කියලා.”

-ජෝජ් රොබ්සන් ද සිල්වා
[උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්]
Share this article :

+ comments + 1 comments

January 13, 2013 at 5:44 AM

ප්‍රියාට දැන් ඉස්සර තරම් හොදින් ගීත ගායනා කරන්න බෑ... වයසත් එක්ක ඇති වෙලා තියෙන ගැටලුවක්...

ඔබේ අදහස්