සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස



පින්වත් මිතුරනි,

අද ඔබට කියන්නේ තවත් ඉතාම වැදගත් වටිනා කරුණක්. සිංහලබෞද්ධකම ගැන නිතර නිතර බොහෝ සෙයින් කථාබස් කරන මේ කාලයේ සිංහලයාගේ බෞද්ධකම රැකගන්නා ආකාරය පෙන්වා දෙන්න ගිහින් මම හොඳටෝම ඊනියා නමට බෞද්ධයන්ගෙන් ගුටි කා ඇත්තෙමි. ඒක ඉතින් සිංහල කමනේ අනගාරික ධර්මපාල තුමත් අන්තිමේට මිනියවත් ලංකාවට ගෙනියන්න එපා කීවනේ. ඒ වුනාට කමක් නැහැ අහන කිහිප දෙනාට හෝ මේක කියන්නම හිතුනා.

මේක කියන්න ආසන්නම කාරණය තමයි, මම, භාග්‍යවතුන් වහන්සේ අපේ රටට මුලින්ම වැඩිය උන්වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා වැඩ ඉන්න, ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්න මහියංගන රජමහා විහාරයේ උතුම් ස්තූප රාජයා වන්දනා කරන්නට ගියා මේ සති අන්තයේ. ඉතින් එහිදී තමයි මේ සිංහල බෞද්ධකම දැකගන්න ලැබුණේ. මේක කියවලා ඉවර වුනාම තේරේවි ඒක මහියංගන රජමහා විහාරයට පමණක් සීමා වූ දෙයක් නොවන බව.

අපේ සිංහල බෞද්ධ මුතුන්මිත්තෝ වන්දනා ගමන් සති මාස ගනන් ගිය හැටි ඔබ අසා ඇති, ගමේ පන්සලේ හෝ දුර ඈතක හෝ ඔවුන් ඒ වන්දනා ගමන් ගෙදරින් පිටත් වෙන මොහොතේ සිට ඉතාමත් ගෞරවයෙන් තමයි හැසිරෙන්නේ. මෙහිදී බොහෝ විට දක්නට ලැබුණු දෙයක් තමයි, පිටත් වීමට පෙර තෙරුවන් වන්දනා කොට එක්තරා වැඩිහිටියෙකු නඩේ ගුරා වශයෙන් තබා ගැනීම. නඩයේ කවුරුත් එතුමන්ගේ බසට පිටින්නම් ගියේ නැහැ.

ඉතින් අනවශ්‍ය දෙතිස් කථා වලින් තොරව තෙරුවන් ගුණ ගයමින් සිතමින් තමයි එදා ඒ ගමන් ගියේ. තෙරුවන් ගුණ සිතන වන්දනා කරන වාරයක් පාසා
ඉමහත් පුණ්‍ය සම්භාරයක් ඔවුනට රැස් වන්නට ඇත.

ඉතින් නියමිත සිද්ධස්ථානයට පැමිණීමට පෙර ආසන්න ස්ථානයක නැවතී ස්නානය කොට පිරිසිදු වස්ත්‍රයක් හැඳ සියළු පූජා භාණ්ඩ, තෙල් මල් පහන් ආදිය සූදානම් කරගන්නවා. ඉන්පසු ඉතාම ශ්‍රද්ධාවෙන් තමයි පුණ්‍ය භූමිය තුලට පිවිසෙන්නේ, බොහෝම ගරු සරු ඇතිව, සක්විති රජෙක් ළඟට යනවා වගේ බොහෝම යටහත් පහත්ව තමයි පිවිසෙන්නේ. මොකද තෙරුවන් කෙරෙහි ගරු සත්කාර දැක්වීමෙන් උපනූපන් ජීවිත වල උසස් යැයි සම්මත කුලයක රජවරු සිටුවරු බ්‍රහ්මණවෞ වෙලා උපදින්නට ගරු සරු දැක්වීමේ පින උපකාර වෙනවා.

ඉන්පසු මුලින්ම කරන්නේ එක පාරටම ගිහින් තෙල් මල් පහන් පූජා කිරීමවත් අහල පහල තියෙන දේවාලෙකටවත් රිංගන එක නොවෙයි. මුලින්ම කරන්නේ එම සිද්ධස්ථානය පිරිසිදු කිරීමයි. මල් ආසන, බෝධි මළුව, චෛත්‍ය මළුව, විහාර ගෙය අතුගා පිරිසිදු කිරීමයි.

ඒ ඇයි කියලා ඔබ දන්නවාද? වන්දනා ගමනේ වන්දනාමය පින්කම් අතර වටිනාම ආමිසමය පුණ්‍යකර්මයක් තමයි පුණ්‍ය භූමිය පිරිසිදු කිරීම. එය මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කිරීමට වඩා අග්‍ර වූ පිනක්.

ඉතින් මහියංගනය පින්බිමට පිවිසෙනවිටම දකින්නට ලැබුණේ හොරි කහ කහ මැක්කෝ කහ කහ වැලි මළුවේ බලු බෙටි ගොම බෙටි අතර සිටින හොරිකඩ බල්ලන් රැලකි. මා සිත ඉතාමත් සංවේගයට පත් විය. මේ බුදු කෙනෙකුන් වැඩිය බිමට සලකන හැටිද?

ඉන්පසු ගල් අතුරනලද සෑ මලුවට පිවිසියෙමි දොහොත් මුදුන් දී වන්දනා කළෙමි මල් ගෙන ගිනි අවුවේ වුවද මහා ථූපය පැදකුණු කළෙමි. එතැන සෑ මළුවේ

ඇති එකම සෙවන ඇති ස්ථානය තමයි මළුව ප්‍රදේශයක් ආවරණය් වන ලෙස අතුපතර විහිදී ගිය බෝධීන් වහන්සේ. ඉතින් අවුවෙන් මිදීමට පිළිසරණක් පතා එතැනට ගියේ වන්දනා කිරීමටය. නමුත් දුටු දෙයින් මට වන්දනා කිරීමට සිත් නොදිණි. සෑයේ මළුවේ කානුව පිරෙන්න වලාකුළු බැම්මේ සිදුරු පිරෙන්න කුණු කසලය. සිංහල බෞද්ධයාගේ බෞද්ධකම මේකද, උජාරුවෙන් කියන සිංහලකම මේකදයැයි එකවරම මගේ සිතට නැගුණි.

මුලින්ම සමන් දෙවාලයට යන මිනිසුන් පළතුරු වට්ටිය ගෙනැවිත් කන්නේ එතැනය, ඉතිරි සිලි මළු පලතුරු ලෙලි, හඳුන් කූරු පෙට්ටි, පොලිතීන් හිස් තෙල් බෝතල්, වතුර බෝතල් ආදියෙන් කානුව පිරී ඇත. මට ඉවසාගත නොහැකි විය, මා මල් මිළට ගත් කෙනාගෙන පොහොර මල්ලක් ඉල්ලගතිමි. මළුවෙන්ම ඉවත දමා ගිය කාඩ්බෝඩ් කැබල්ලක් සහ ඉදලක් සොයාගතිමි. කාණුව බොහෝ වෙහෙස වී පිරිසිදු කළෙමි. මා එය පිරිසිදු කරන අතරතුර සිය ගනනක් එතැන වන්දනා කරන්නට ඇත. නමුත් මා දෙස අමුතු පිස්සෙක් දෙස බලනවා මෙන් බලනු හැර කුණු ඉවත් කරනු දැක තවත් කුණු ගෙනැවිත් දමනු හැර කිසිවෙක් කිසිවක් කලේ නැත. පිරිසිදු කළ අවසානයේ මට නිම්හිම් නැති සතුටක් ඇතිවිය. එනම් මම මහා පිනක් රැස්කරගෙන ඇති බවක් මට සිතිණි. අප්‍රමාණ සතුටකින්, මේ පින මේවා අපිට කියලා දුන්න පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් කළෙමි. ඉතින් පින් කැමති ඔබත් එම පින අනුමෝදන් වෙන්න.

පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස දැක්වෙන මේ ථේරාපදානය බලන්න.

බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2.සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6.ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9.කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10.චිත්ත පීඩා ඇති නොවීම
11.සතුරන් ඇති නොවීම
12.භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15.පරමායුශ විඳීමට ලැබීම
16.ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

ඉතින් පින්වත් මිතුරනි, බලන්න ශ්‍රද්ධාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා කැපකළ භූමිය පිරිසිදු කිරීමේ අනුසස්. ඉතින් ඔබ යමකට කැමතිද ඒ කැමති හැම දෙයක්ම ලබාගැනීමේ හැකියාවක් එම පිනට තිබෙනවා නේද?

ඉතින් අපිත් නැකැත් පස්සේ දුව දුව ඉන්න හොරිකඩ සිංහල හින්දූන් වෙන්නට හදන්නේ නැතිව පින්වත් සිංහල බෞද්ධ වෙන්න උත්සාහ ගනිමු. මහත් වූ පිනක් රැස්වෙන පුණ්‍ය භූමි පිරිසිදුව තබාගන්නට උදවු කරමු. නොදන්නා අයට මෙය කියලා දෙමු. පිනෙහි වටිනාකම කියලා දෙමු. පිනේ විපාක මේ වගේනම් අපිරිසිදු කිරීමේ විපාක කොහොම වේවිද කියලා සිතන්න. බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානයත් රැස්කරගනිමු. සැප ලබමු. සිංහල බෞද්ධකම රැකගනිමු.

තෙරුවන් සරණයි..

Share this article :

ඔබේ අදහස්