සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක්‌ කියයිදෝ




'ඔබ යළි මගේම වූවොත් 
ලොව මට කුමක්‌ කියයිදෝ '

ආදරය කරන කාලෙ. අපි දෙන්නා ජීවිතේ ගත කළේ කොයිතරම් සුන්දර විදිහටද, ඔයාට මාත්, මට ඔයාවත් නැතුවම බැරි වුණා. අපි නිතරම හමු වුණා. එක විනාඩියක්‌ මට ඔයා නොදැක ඉන්න බැරි වුණා. ඔයාටත් එහෙමයි. ඒ තරමට අපි දෙන්නා අපි දෙන්නට ආදරේ කළා. අපේ මේ අවංක ආදරේ.. ලෝකයට රහසක්‌ වුණේ නෑ. අපි දෙන්නා ආදර්ශවත් පෙම් යුවළක්‌ බවයි ලෝකයා කිව්වේ.

අපි දෙන්නා එකට එකතු වුණා. කසාද බැන්දා. පෙම්වතුන් අඹු සැමියන් වුණා. ආදරේ තව තවත් වැඩි වුණා. අපි දෙන්නා ආදර්ශවත් පවුල් ජීවිතයක්‌ ගත කරනවා කියලා ඉන් පස්‌සේ ලෝකයා කියන්න ගත්තා. ඔයාට මාවත්, මට ඔයාවත් අපි දෙන්නටම අපි දෙන්නව ආඩම්බරයක්‌ වුණා. ඔයා ගැන ලෝකයේ අය මගෙන් අහද්දී. මම හරිම උත්තර දුන්නේ හරිම උද්දාමයෙන්. ඒත්,

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ...
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඒත්... අද...., මගෙන් හැම කෙනෙක්‌ම ඔයා ගැන අහනවා... මට දෙන්න උත්තරයක්‌ නැහැ... මම මොනවද කියන්නේ. ලෝකයා විතරක්‌ ද.... මගේ හිතත් මගෙන් අහනවා ඔයා ගැන... දෙවියනේ.... මමවත් දන්නේ නෑ... ඔයාට මොනවද වුණේ....

මේ ගීය ගයන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි... තනුවත් සංගීතයත් ඔහුගේ. ගීයේ පද රචකයා... මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර... ශෝකී රසයක්‌ උපද්දන ගීයක්‌... සංයෝගයත් වියෝගයත් දෙකම එකට එකතුවුණු නිර්මාණයක්‌.... මේ ප්‍රණීත් ගීත රචනය ගැන දැක්‌වූ අදහස....

"මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌... මේ වගේ අදහස්‌ තියෙන ගීයක්‌ ලියා දෙන්න කියලා සනත් නන්දසිරි සහෘදයා ඉල්ලීමක්‌ කළා. මම ගීය ලියුවා... මේක අත්දැකීමක්‌ නම් නොවේ... සිතිවිල්ලක්‌... රෙකෝඩ් කරන්න සුළු මොහොතකට කලින් ලියෑවුණු ගීයක්‌....

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා මාව දාලා ගිහින්... විශ්වාස කරන්න පුලුවන් ද.... අපි දෙන්නගේ ආදරේ ආදර්ශයක්‌ කරගත්තු ලෝකයා... විශ්වාස කරයිද... ඔයා මාව දාලා ගියා කියලා... නෑ... මගේ හදවත වේදනාවෙන් පුරවලා.... ඔයා ඉවත ගියා කියල මම කීව්වොත්.... කිසිම කෙනෙක්‌ විශ්වාස කරන එකක්‌ නෑ.... මා අතහැරලා ඔයා ගියා... මට දුකක්‌ නෑ කියලා මම කිව්වොත්.... නෑ... ඒත් කිසිවකු විශ්වාස කරන එකක්‌ නෑ... ඔවුන් කියාවි ඇත්තටම මම ඉන්නේ දුකෙන් කියලා.. ඒ තරමට මම ඔයාට ආදරේ කළ බව ඒ අය දන්නවා..... මගේ හදවතේ තවමත් ඔයා කෙරෙහි ආදරයක්‌ ඉතිරිවෙලා තියෙනවා.... කියලා මම කිව්වොත්.... ලෝකයා මට මොනව කියයිද....

මේ ගීය ගසල් ශෛලියට නෑකම් කියනවා... ප්‍රණීත් වචන ටික මට ලියලා දුන්නා.... කිසියම් කෙනෙක්‌ වෙන් වුණාට පස්‌සේ දෙදෙනාගේ සබඳකම හොඳින්ම දැනගෙන සිටි ලෝකයා.... වෙන්වීම ගැන දන්නේ නෑ... පෙම්වතාගෙන් අහනවා පෙම්වතිය ගැන..... ඔහු දෙන උත්තරේ මොකක්‌ද.... මේක තමයි ගීයෙන් කියෑවෙන්නේ... මහාචාර්ය සනත් නන්දසිරි ගීය ගැන එසේ පැවසුවා.

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා ගැන මම ලෝකයාට කිව්වත් නොකිව්වත්.... ඒ අය කවදා හරි දැන ගනීවි ඔයා මාව දාලා ගියා කියලා... ආදර්ශවත් පෙම් යුවළ...... ආදර්ශවත් අඹු සැමියන් දැන්.... වෙන්වෙලා..... කියලා මිනිසුන් අපිට හිනා වෙයි.... ඔයා වැරදි නැහැ... මමයි වැරදි.... කියලා මම ඒ අයට කියන්නම්.... මම හිතන්නේ නෑ... ඔවුන් එය විශ්වාස කරයි කියලා... ඒ අය එක එක කතා හදයි... ඔයා ආයෙත් මා ළඟට එන්න... එහෙම ආවොත්... ලෝකයා.... දොස්‌ කියන්නත් පුළුවන්... දොස්‌ නොකියන්නත් පුළුවන්... කුමක්‌ කියයිද.... කියා හිතන්නවත් බෑ....

සරල පදමාලාවක්‌ වුවත්... එහි ගැබ්ව තිබෙන අදහස... සත්‍යයක්‌... සමාජය... අනෙකා දෙස බලා සිටින අයුරු.... තවකෙකුගේ ජීවිතයට.... සමාජය එබිකම් කර බලන අයුරු.... ඒ නිසාම.... තීන්දු තීරණ ගත නොහැකිව උභතෝකෝටිකව සිතන අයුරු... මේ ගීයෙන් කියනවා.....

~~ මුළු ලොව මගෙන් අසාවී ~~

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි 
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි 
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ගායනය :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය :- මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
සංගීත් :- නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි 

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)
Share this article :

ඔබේ අදහස්