සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද අසම්මතේ පෙම මල් පුබුදයි..


'ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...'

ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි//
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...//
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

ගායනය :- රොහාන් ශාන්ත බුලේගොඩ
පද රචනය: - විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව :- ලක්‍ෂ්මන් හිල්මි

ආදරයක්‌... කොටු කරලා.... හිර කරලා තියන්න පුළුවන්ද... බැහැ... ඒක නිශ්ඵල ක්‍රියාවක්‌... ආදරය එහෙම දොරගුළු ලා සිර කරන්න බෑ. ඒත්...කෙනෙකුට තවකෙකු කෙරෙහි ආදරයක්‌ ඇතිවෙද්දි.... ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරද්දි ඊට හරස්‌ වන ලොකුම බාධාව තමයි අසම්මතය... අසම්මත ආදරය වරදක්‌.... ඒත්....,

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනා මුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි
ආදරයක්‌ ඉපදිලා... සමීප ආදරයක්‌...

ඒත් හිත දොස්‌ කියනවා... එපා දොස්‌ කිව්වා ඇති... මගේ හිතේ අප්‍රමාණ වූ ආදර හැඟුම් මෝදු වෙනවා. ඒවා දයාබරයි.... මම දන්නවා මගේ මේ ආදර සිතුවිලි... ඉටු නොවන බව ඒත්... මගේ හිත ඉල්ලන්නේ ඔයාවමයි. මම පාරමී පුරවාගෙන සංසාරෙන් සංසාරෙට පැතුවේ ඔයාවමයි.

විපුල් ධර්මප්‍රිය ජයසේකර, රොහාන් ශාන්ත බුලේගොඩ ලියූ ගීයක්‌. සංගීතය සහ තනුව ලක්‍ෂ්මන් හිල්මිගේ. විපුල් සේවය කරන්නේ ගුවන් විදුලියේ. දැන් අපි විපුල් කියන දේ අහමු.

අපේ ගුවන් විදුලියේ සේවය කළා ජනප්‍රියම සංගීතඥයෙක්‌. ඔහු එහිම තරුණියකට ආදරය කරන්න පටන් ගත්තා. මේක අසම්මත ප්‍රේමයක්‌. දෙන්නම කසාද බැඳපු අය. දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. මේ මගේ හිතවතාට ඔහුගේ හිතේ තියෙන දේ කියාගන්න වුවමනා වුණා. ඉතින් ගීයක්‌ ලියාදෙන්න කියලා ඔහු කළ ඉල්ලීම අනුවයි මේ ගීය ලියෑවුණේ.

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

නින්දේ වගේම නොනින්දෙත් දෙනෙත් විවරය සිටිත්දී මෙන්ම දෙනෙත් පියාගත් කලත් මගේ නෙත සිත ඉල්ලන්නේ ඔයාගේ රූපයමයි. ඔය අහිංසක මුහුණ නිතරම මට මැවී පෙනෙනවා. මඟ තොට දකින සෑම රූපයකින්ම මට පෙනෙන්නේ ඔයාවමයි. මගේ ළය මතින් නැඟ එන ගින්දර... නිවාලන සිහිල් දිය බිඳු ඔයා මිස වෙන කවුද? ඔයාගේ ඔය සිසිලස පිරි හදවත... තමයි මගේ නවාතැන.

මම ගීය ලියුවා. ලක්‍ෂ්මන් හිල්මි තනුව නිර්මාණය කළා. රොහාන් ශාන්ත ගීය ගැයුවා. ගීය ජනප්‍රිය වුණා.. මගේ මිත්‍ර සංගීතඥයා සහ අසම්මත ප්‍රේමය තවමත් එහෙමමයි. දෙදෙනා දෙපසකට වෙලා තවමත් හිතෙන් ආදරය කරනවා.

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

සමාජය කොතරම් අකුල් හෙළුවත් බාධා කළත් අසම්මත පෙම වළක්‌වන්න බෑ.. ලෝකයාගෙන් ගැරහුම් අවලාද එන්න පුළුවන්. ඒවා සැඩ පහරක්‌ නම්... අසම්මත පෙම හරියට ඒ සැඩ පහර මැද පූදින මලක්‌ වගේ. වෙන් වෙන්න අප හිතලවත් නෑ. වෙන් වීමක්‌ ගැන නොවේ, නිතර හිතන්නෙ එක්‌වීම ගැන. කවුරු කොතරම් චෝදනා කළත් මගේ හිතේ ඔයා හැර වෙන කිසිවෙක්‌ නෑ.

-අජිත් අලහකෝන්

(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)
Share this article :

ඔබේ අදහස්