සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මායාවී ප්‍රේමය හදවත රිදවූයේ


~~ මායාවී ප්‍රේමය හදවත රිදවූයේ ~~

සරසවි ප්‍රේම කතන්දර රසවත්ය. අරාබි නිසොල්ලාස කතන්දර ද රසවත්ය. ඒ ඔබ අසා ඇති විදියටය.සරසවි ප්‍රේමය බොහෝවිට ක්‍රියාකාරීවන්නේ සරසවි අවකාශයේදී පමණක් යැයි ඇතැමුන්ගේ මතයයි.කොහොම වුණත් මේ සරසවියේදි බැඳී හාද ගැන ලියැවුණු කවි එමටය. ගීතද එමටය.අප්‍රමාණිතය. පුදුමෙට වගේ ඒවා මතකයෙන් ගිලිහෙන්නේ ද නැත.එකී ප්‍රේමය බුද්ධියෙන් හදවත දිහා බලයිද හදවතින් බුද්ධිය කිරා බලයිද කියා කාටවත් තක්සේරු කරන්නට බැරිය.කෙසේ වෙතත් අතළොස්සක් වූ සරසවි ප්‍රේමයන් මල්පල ගැන්වෙන බවත් බහුතරයක්ම සැහැල්ලු කෙළිලොල් සබඳතා බවත් සමාජ සම්මතය තහවුරු කරගෙන ඇත්තේය.

~~ තනිවෙන්නට මගේ ලොවේ ~~

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්//

සිව් වසරක පෙම් ගීතය
ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැලඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහිවේදෝ

ගායනය :- ආචාර්ය වික්ටර් රත්නායක
පද :- බුද්ධදාස ගලප්පත්ති
සංගීතය :- රෝහණ වීරසිංහ

කහළ ගොඩේ තිබුණත් මැණික මැණිකමය. ප්‍රේමය කොතැන තිබුණත් වටිනා දෙයකි. ඒත් තිබිය යුතු තැන නොතිබී නොතිබිය යුතු තැනක තිබීම දුකකි. පාසල් ප්‍රේමයන් මෙන්ම සරසවි ප්‍රේමයන් ද අනිවාරත අපතයක යන්නේ ඒ නිසාමය. එවැනි ප්‍රේමයන් බොහෝ විට නූල කඩාගත් සරුංගල් සේ ඈතටම ඈතටම පාවෙයි . අතීතයේදි එසේ සිදුවූයේය.

වර්තමානයේදී එසේ සිදුවෙමින් පවතී. අනාගතයේදී ද එසේ සිදුවෙනවා ඇත. නමුත් හැබෑ ප්‍රේමවන්තයා කිසි දිනෙක වෛරක්කාරයෙකු නොවේ. ඔහුට කවදාවත් වෛර කරන්නට බැරිය. සරසවි පියස්ස යටදීම සිය ප්‍රේමවන්තියට විසිපාරක් පිහියා ඇනුම් දී මරා දැමූ ප්‍රේමවන්තයකු ගැන ඔබත් අසා ඇත. ගසා මරා දමනවාට වඩා ඇයට යන අහක යන්නට හරින්නට ඔහුට බැරි වූයේ කරුමයටය. තම රිදුණු හදවත බුද්ධියෙන් පිරිමැද අස්වසාගන්නට ඒ

ප්‍රේමවන්තයාට නොහැකි වූයේ කරුමයටය.

මේ ගීතයට පාදක වූයේ ද ප්‍රේම පලහිලව්වකි. ඒ ද සරසවි ප්‍රේමයකි. ප්‍රේමය බිඳීයාම නිසා ඇතිවූ ශෝකය මත ආලෝකමය බුද්ධි කදම්භයක් ආරෝපණය කරන්නට බුද්ධිට ඕනෑ විය. ඔහු බුද්ධදාස ගලප්පත්ති නම් වූ කවියාය.

අසූව දශකයේදි බිහිවූ මේ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ය. ගායනා කළේ ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂෙත්‍රයේ ඒක පුද්ගල ප්‍රසංගාවලි ඉතිහාසයේ සදාතනික රත්නමය මුද්‍රාවක් තබන්නට සමත්වූ වික්ටර් රත්නායක නම් වූ සංගීත වේදියාණන්ය. ගණනින් 1400 ඉක්මවූ ඔහුගේ ප්‍රසංගාවලියේදි ද මේ ගීතය ගැයුනේ සුවහසක් පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ බව ඔබට මතකය. බුද්ධි ගීතය ගැන මෙසේ කියයි.

’මේ ගීයට පාදක වුණේ සරසවි ප්‍රේමය. එය ඍජුවම මගේ අත්දැකීමක් නොවුණත් සරසවි බිමේදී නිතර අත්දකින සිදුවීම් ඇසුරින් පරිකල්පනයෙන් තමා ඒ පදවැල නිම වුණේ. බොහෝ සරසවි ප්‍රේම කතා සරසවියෙන්ම කෙළවර වෙනවා යයි සම්මත මතයකුත් තිබෙනවානෙ. මට ඕනෑ කළේ ප්‍රේමයේ වියෝගය වෛරයකට හරවා නොගත් ප්‍රේමවන්තයෙකුගේ චිත්ත ස්වභාවය පෙන්නුම් කරන්නයි..’

ඉතින් පි‍්‍රය සොඳුර ඔබ රිසි තැනකට ඔබ යන්න. මම මගේ ප්‍රේම රැහැනින් ඔබව මුදා හරින්නම්. මා ඔබට වෛර කරන්නේ නැත. නමුත් අප බැඳී උන් ප්‍රේම දැහැනේ මතක අදටත් මා හැර යන්නේ නැත. ඒ මතකය මට වේදනාවකි. ඒ මතකය පොරෝණය කරගත් ඔබේ සුවඳ මා වෙතින් රැගෙන යනු මැනැවි. මට හුරුපුරුදු හුදෙකලාවේ මා නිමග්න කර ඔබ දුරක යනු මැනවි. සිව් වසරක සරසවි පේ‍්‍රම ගීතය නිමා කර ඔබ අලුත් ලොවකට පියනඟයි. ප්‍රේමය මායාවකි. එය ඔබම මට පසක් කළෙහිය.


-යමුනා මලිනී පෙරේරා
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)
Share this article :

+ comments + 1 comments

January 6, 2013 at 5:04 AM

මමත් කැමතිම ගීතයක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....

ඔබේ අදහස්