සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..




බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..
ඇවිල ගිය සිත් සතන්.. නිවී සැනසී ගියා..
එකම බන පදයෙනුත්.. ගලා නැණ රැස් දහර..
අඳුරු ජීවිත පුරා.. එළිය විහිදී ගියා..

දුගී පැල්පතේ හෝ.. බමුණු සිටු කුලේ හෝ..
දුකින් මුදවාගන්ට.. බොහෝ දුර වඩිනවා..
මහ වැස්සේ තෙමෙනවා.. හිරු රැසින් දැවෙනවා..
කුසගිනිද දැනෙනවා.. බුදු සමිඳු වඩිනවා..

මිහිරි බන දෙසනවිට.. අමා ගඟ ගලනවා..
කන් යොමා අසනවිට.. සිත සෝක නිවෙනවා..
ගුණ නුවණ වැඩෙනවිට.. සසර දුක ගෙවෙනවා..
බුදු ගුණය සිතනවිට.. නිවන් සුව දැනෙනවා..

වඩිනවිට පිඩු සිඟා.. නෙත් කැළුම් බිම යොමා..
බෙදන්නට දන් පිඩක්.. අනේ මට බැරි වුණා..
සිරිපතුල් වෙහෙසුණා.. අප ගැනම සොය සොයා..
පිරිනිවී වැඩි සේක.. මගේ සම්බුදු පියා..

බුදු නෙතින් බලා ලොව.. සිතේ දුක නිවා දුන්..
බුදු මුවින් ගලා ආ.. මිහිරි දම් අමා දුන්..
බුදු ගුණෙන් සදා සිත්.. සැනසීම ලබා දුන්..
බුදු සරණ යමු අපිත්.. පිළිසරණ සදා දුන්..

හිරු උදාවනු මිසක.. අඳුර එන්නට එපා..
දෙපා පැටළුන විටක.. බිම වැටෙන්නට එපා..
ජීවිතය කිසි දිනක.. නොමඟ යන්නට එපා..
බුදු සමිඳු නැති ලොවක.. කිසි දෙයක් මට එපා..

සිත මගේ සැනසිලා.. නරක දේ දුරු වෙලා ..
පිපුණ කුසුමක් ලෙසේ.. ලොව සුවඳ කෙරේවා..
නිහඬ වන ගුහාවක.. සොඳුරු හුදෙකලාවක..
බුදු සිතක ඇති සුවය.. මහදටත් දැනේවා..

තණ්හාව දුරු වෙලා.. දුක මගේ නැති වෙලා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..
සදාකාලික අමා.. නිවන් සුව ලැබේවා..

සාධු..! සාධු..! සාධු..!

සම්බුදු ගුණ කවි පද:- පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ. 
Share this article :

+ comments + 1 comments

November 30, 2012 at 3:58 AM

සාදු සාදු සාදු.....
එන්න සමකය වටේ (samakaya wate)යමු රවුමක්

ඔබේ අදහස්