සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

රටා මවන මල් පෙති




'රටා මවන මල් පෙති පැහැයෙන් 
හිනා මවන්නට බෑ මට නම්......'

පිණිදිය විසිරෙන හෝරාවේ
නුඹ ඇවිදින්
නුඹ ඇවිදින් මා ළඟ උන්නා
මං නොදන්න නෙක පාට අරන්
ඇස්‌ අග දැවටුන නුඹෙ පෙම් සිතිවිලි
මට දකින්න බැරි නුඹෙ පෙම් සිතිවිලි
සුසුමක දැවටී ළඟ රැඳුනා
මට දැනුණා උණුහුම දැනුණා

රටා මවන මල් පෙති පැහැයෙන්
හිනා මවන්නට බෑ මට නම්
අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
අතැඟිලි පහසක තෙත දැනුණා

ගායනය :- දිනේෂ් එරන්ද
ගී පද :- සෝමලතා හේරත් මැණිකේ
සංගීතය :- රුවන් ශ්‍රී වල්පොල

හරිම අහිංසක ආදරයක්‌... ඔහු ඇය දකින්නේ දෙනෙත්වලින් නොවේ... හදවතින්. ඔහුගේ හදවතට... ඇගේ හදවතේ සුන්දර බව.... අවංක බව දැනෙනවා... ඇයට ඔහුව පෙනෙනවා... ඔහුගේ ලස්‌සන හදවතත් දකිනවා... ඒ නිසා... ඔහුගේ දෙනෙත්... ඇගේ ආදරේට බාධාවක්‌ නොවේ... අවංක ආදරය.... අවසානයේ ජයගත්තා...

පිණිදිය විසිරෙන හෝරාවේ
නුඹ ඇවිදින් - නුඹ ඇවිදින්
මා ළඟ උන්නා
මං නොදන්න නෙක පාට අරන්...

ඇය ඔහු හමුවට ආවේ උදේ පාන්දර... පින්න වැටෙන වෙලාවේ... ඈ ආ බව ඔහුට දැනෙනවා... දෙනෙතට ඇගේ රුව නොපෙනුණත් ඈ ඇවිත්... මල්වල පාට... ඔහු හඳුනන්නේ නැහැ. ඒත්... ඇය ඔහු ළඟ ඉන්නවා. ඒ ලස්‌සනම ලස්‌සන මල් පොකුරක්‌ අරගෙන.

මේ සිංදුව ගයන්නේ ඇත්තටම දෙනෙත් නොපෙනෙන තරුණයෙක්‌. මේ වන විටත් ගීත කීපයක්‌ම ගයා ඇති ඔහු දිනේෂ් එරන්ද... දිනේෂ්ට මේ සිංදුව ලියලා දුන්නේ සෝමලතා හේරත් මැණිකේ... මහනුවර රෝහලේ විශේෂ අක්‍ෂි තාක්‍ෂණවේදිනියක්‌... මේඛලා ගමගේට "අහන් ඉන්න... අහගෙන ඉන්න..." සිංදුව ලියල දුන්නෙත් හේරත් මැණිකේ.

රත්මලාන අන්ධ විද්‍යාලයේ මා එක්‌කම ඉගෙන ගත්ත යාළුවෙකුගෙ අත්දැකීමක්‌. ඒ අත්දැකීම දවසක්‌ මට කිව්වා... මම ඒ කතාව සෝමලතා මහත්මියට කියලා සින්දුවක්‌ ලියාගත්තා. මගේ යාළුවට ඇස්‌ පෙනෙන තරුණියක්‌ ආදරය කළා. ඒ ආදරයට යාළුවාගේ දෙනෙත් බාධාවක්‌ වුණේ නෑ. ඔවුන් ආදරයෙන් ජය ලැබුවා. දැන් විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක්‌ ගෙවනවා. දිනේෂ් එරන්ද ගීයේ වස්‌තු බීජය පැහැදිලි කළා.

ඇස්‌ අග දැeවටුන නුඹෙ පෙම් සිතිවිලි
මට දකින්න බැරි නුඹ පෙම් සිතිවිලි
සුසුමක දැවටී ළඟ රැඳුනා
මට දැනුණා උණුහුම දැනුණා

ඇගේ දෙනෙත්වලින් ආදරය වෑහෙනවා. ඒත් ඒ ඇස්‌ දෙකෙන් කියන ආදරය.. ඔහුගේ ඇස්‌ දෙකට පෙනෙන්නේ නෑ. ඒත් ඒ ආදර සිතිවිලි ඔහුට දැනෙනවා. ඇගේ ආදරණීය සුසුම් සමග මුහුවෙලා... ඒ ආදර සිතිවිලි ඔහුගේ ගත දැවටෙනවා. ඈ ඔහුට ළං වෙලා. ඇගේ සුසුමේ උණුසුම... ඔහුට දැනෙනවා... ඒ ආදරයේ උණුහුමයි.

මගේ ගම පානදුර පිංවත්තේ... මම මීට කලින් "මිතුරියේ..." නෙත්පුරා, "කිමදොa ළඳුනේ" කියන සිංදු තුන ගායනා කළා. ඒ සිංදු තුනත් කුඩා කාලයේදීම මියගිය පුංචි නංගී වෙනුවෙනුත් ගීයකුත් මා විසින්මයි රචනා කළේ. පොඩි කාලේ මගේ ඇස්‌වල පෙනීම තිබුණා. පානදුර රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ... සාමාන්‍ය පෙළ කරද්දී ඇස්‌ දෙකේ පෙනීම අඩු වුණා. අකුරු ලියන්න බෑ. පොත් පිටුවල රූල් පෙනෙන්නේ නැතුව ගියා. දොස්‌තරලා කිව්වා ග්ලුකොමා තත්ත්වයට ආවා කියලා. අවුරුදු විසිතුනේදී පෙනීම නැතිවෙලාම ගියා. රත්මලාන අන්ධ විද්‍යාලයෙන් බ්‍රේල් ක්‍රමයට සාමාන්‍ය පෙළ කළා. පෙරදිග/බටහිර සංගීතයත් හැදැරුවා.

රටා මවන මල් පෙති පැහැයෙන් හිනා මවන්නට බෑ මට නම්
අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
අතැඟිලි පහසක තෙත දැනුණා.

පාට පාට... රටා මවන මල් පිපෙනවා... දකින්න ඔහුට වාසනාවක්‌ නෑ. ඒත්... ඇයට මේ හැම දෙයක්‌ම පෙනෙනවා. ඒ පෙනෙන හැම දෙයක්‌ම ඈ ඔහුගේ ලෝකයට ගෙනෙනවා. ඔහු අඳුරෙන් මුදා ගන්න ඇය පහනක්‌ වෙලා. ඇගේ අතැඟිලිවලින් ඔහුට දැනෙන්නේ කියාගන්න බැරි තරමට ඈ තුළ ඇති ආදරයයි.

මම දැන් පරිගණක පාඨමාලාවක්‌ හදාරනවා. ඒ අතරෙම දුරකථන ක්‍රියාකරවන්නකු ලෙස පාඨමාලාවක්‌ හැදැරුවා. රැකියාවල් හොයනවා.

මගේ මේ සිංදුවේ විෂුවල් වල අමුත්තක්‌ තියෙනවා. ඒවායේ තියෙන්නේ චිත්‍ර... මේ චිත්‍ර ඇන්දේ මහනුවර රෝහලේ විශේෂඥ අක්‍ෂි තාක්‍ෂණවේදිනියක වන ලලනි සේනාධීර මහත්මියයි. රුවන් ශ්‍රී වල්පොල සොහොයුරා තනු නිර්මාණය කළා. මේ හැම කෙනෙක්‌ම ගීයට දායක වුණේ මගෙන් සත පහක්‌වත් අය නොකර... මම තවම යෑපෙන්නේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. රැකියාවක්‌ ඉක්‌මනින් ලැබුණොත් සතුටක්.

-අජිත් අලහකෝන්
(උපුටා ගැනීම දිවයින පුවත්පතින්)

Share this article :

ඔබේ අදහස්