සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව



ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව ලබන මස 22 වැනි දින මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කෙරේ.

නව චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව , නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

චීන රජයට අයත් චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගම සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙය එළි දැක්වේ.

චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (China Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (China Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඉකුත් 16 වැනි දා අත්සන් තැබුවේය.

ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 ක් බව එම සමාගමේ සභාපති ආර්.එම්.මනිවන්නම් මහතා පැවැසීය.

මෙවැනි ඉහළ සන්නිවේදන කර්තව්‍යක් සඳහා දායක වූ දකුණු ආසියානු ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ තමන් බවද ඇෆ්ගනිස්ථාන චන්ද්‍රිකා වැඩසටහන දියත් කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම් හයට ශ්‍රී ලංකික සුප්‍රීම්සැට් සමාගම අයත් වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ලෝකයේ සාර්ක් රටවලින් ඉන්දියාව සහ පාකිස්ථානය හැරුණු විට මෙවැනි කර්තව්‍යක් සඳහා දායකත්වය දුන් තෙවැනි රට ලංකාව බව පවසන ඒ මහතා, නව සන්නිවේදන චද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමඟ මුළු මහත් ජාතියට විශාල කීර්තියක් හා විශිෂ්ට ස්ථානයක් අත්වනු ඇතැයි ද මෙය ජාතියේ ජයග්‍රහණයක් බවද වැඩිදුරටත් පැවැසීය.

- චින්තා රණසිංහ
Share this article :

ඔබේ අදහස්