සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....



'නොදැක ඔබේ රුව ශෝකය නැඟෙයි හද පුරා....'

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි...
(පද – කරුණාරත්න අබේසේකර)

පෙම් සටන් පරාද වී විරහ වේදනාවෙන් ඔත්පල වූ ගීත ශ්‍රාවක ආත්ම සුවපත් කරමින් ඔහුගේ හෘදයාංගම කටහඬින් ගීතවත් වූ සොඳුරු ආදර ගීතාවලිය සිංහල සංගීත ක්ෂේත්‍රයේ මියුරුතම ගීතාවලියකි.

සිය වැලපුණු ආත්මයෙන් යොවුන් පෙම්වතියන්ගේ මෙන්ම පෙම්වතුන්ගේ ද සිත් අමන්දානන්දයට පත් කළ ඔහු අප අතරින් සදහටම සමුගෙන ගොස් මේ වන විට වසර දහ තුනකට කාලය ඉගිලෙමින් ඇති අතර මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නේ ඔහු පිළිබඳ මතක සුවඳින් ය. එනම් ප්‍රේමයේ පැහැයෙන් ගීතය වර්ණවත් කළ ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන් පිළිබඳ සැමරුම් සමඟින් ය.

ආදරයේ සෑම ඉසව්වක්ම සිය මධුර හඩින් ස්පර්ශ කරමින් සරල, සුගම, සොඳුරු ගීතාවලියක් ශ්‍රාවක අපට තිළිණ කළ මිල්ටන් මෙලොවට ජනිත වූවේ 1944 අප්‍රේල් හත්වැනිදා කෝට්ටේ ග්‍රාමයේදී ය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ශිල්ප උගත් ඔහු 1973 දෙසැම්බර විසි නව වැනිදා ස්වර්ණමාලි මාලතී සමඟ විවාහ වූ අතර රනිල්, හර්ෂණී, නදීරා සහ රන්සිරි නම් දරුවන් සිව්දෙනාගේ පියා වූවේය.

මිල්ටන් ගේ පෞද්ගලික ජීවිතයේ වගතුග සඳහන් කරන බොහෝ අවස්ථාවන්හිදී ඔහු ඕනෑකමින් මඟ හරින නැත්නම් ඕනෑකමින් කපා හරින කරුණක් මෙහිලා මම අකුරු කරමි. ඒ ඔහුගේ පියා පිළිබඳ වගතුග ය. මිල්ටන් ගේ ආත්මය වසා පැතිර ගත් දුකඳුරේ ඇරඹුම ඔහුගේ පියා විය. අප හමු වූ දිනෙක මිල්ටන් ඒ වග හෙළිදරව් කළ අයුරු මගේ මතකයේ තවමත් නින්නාද වෙයි.

”එයා ගැන ලියන්න එපා. මම හීනෙකින් වත් දැකලා නැති, මම දන්නෙම නැති කෙනෙක් තමයි මගේ තාත්තා. එහෙම කෙනෙක් ගැන මොනවට ද නිකම් නමට විතරක් ලියන්නේ. මට උන්නේ මගේ අම්මා විතරයි. මාව ජීවත් කරවන්න අම්මා නොවින්ද දුකක් නැහැ. මමත් අම්මත් එක්ක දුක් වින්දා. පුංචි කාලේ ඉඳි ආප්ප හදන්න අම්මට පිටි කොටලා දෙනවා. ගෙවල් හදන තැන්වල කුලී වැඩ කරලා තියෙනවා. දුක මේ ජීවිතයේම කොටසක් වුණේ ඒ කාලේදීම යි.”

සිය ආත්ම ගතවූ දුක් වේදනාවෙහිම ගිලී ශෝකාකූල හඩින් ගී සංකල්පනාවන්ට ජීවය දුන් මිල්ටන් මුලින්ම කේවල ගී තැටියකට ගීත ගායනය කළේ 1969 දීය.

එවකට භද්‍ර යෞවනයට පිවිස සිටි, බහුතර ගීත ශ්‍රාවක පිරිසකගේ ප්‍රියතම ගායන ශිල්පියා වෙමින් කරුණාරත්න අබේසේකර පද රචනය කළ මොහොමඩ් සාලි සංගීතවේදියාණන් සංගීතවත් කළ “ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ”, “රන් කූඩුව ඔබ සෑදූ”, “මංගලේ නෙත් මංගලේ” සහ “සංසාර සෙවනැල්ල ලෙස ආ පතාලා” ගීත හතර මුලින්ම ගායනා කළ මිල්ටන් එතැන් සිට 1998 මාර්තු දහවැනිදා මරණයේ තොටුපළෙන් නික්ම යනතුරුම ගැයූ සෑම ගීතයක්ම ඔහුගේ ගීතලෝලී සහෘදයන්ගේ සිත් පිනවූ ගී මුතුවැල් දාමයක්ම විය.

1971 වසරේ තිරගත වූ “පූජිතයෝ” චිත්‍රපටයේ එම්.එස්.ප්‍රනාන්දු සමඟ “සක්වළ රත්වන පළිඟු තලාවක” ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූ මිල්ටන් සිංහල චිත්‍රපට සියයකට ආසන්න ගණනක මියුරු ගී රැසක් ගායනා කළ අතර 1984 වසරේදී හොඳම ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, 1983 දී ප්‍රදර්ශනය වූ “ඈතින් ඈතට” චිත්‍රපටයේ ගැයූ “කැන්දම් යන්නම් රන්මල් මාලා දාලා” ගීතය ගායනය සඳහා ය.

මිල්ටන් ගායන ශිල්පියකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ කඩඉම් සනිටුහන් කළ ශිල්පියෙක් ද වේ. ආධුනික ගායන ශිල්පියෙකුව සිටිය දී හින්දි ගීත ගායනා කළ නමුත් කිසිදාක අනුකරණ ගී තනු අනුව සිංහල ගීත ගායනා කළේ නැත.

ඔහු ගායනා කළ සෑම ගීතයක්ම ස්වතන්ත්‍ර තනුවලට ගායනා කළ අතර මෙරටේ ස්වතන්ත්‍ර හින්දි ගීතයක් (“සිරිල් මල්ලී” චිත්‍රපටයේ “ඒක ඛලී” ගීතය) ගැයූ මුල්ම ගායන ශිල්පියා වන්නේ ද මිල්ටන් ය. ග්‍රැමෆෝන් යුගයේ අවසන් ගී තැටිය (ගෞරි කෝපරේෂන්) මිල්ටන් ගේ හඬින් ගීතවත් වීම මෙන්ම මෙරට ප්‍රථම ගීත කැසට් පටය ද (විජය රාමනායක නිෂ්පාදනය කළ “සඳෙන් එහා” මිල්ටන්ගේ හඩින් ගීතවත් වීම එවැනි තවත් සුවිශේෂ කඩඉම්ය.

ගුවන්විදුලියේ “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියකු වූ මිල්ටන් ටෙලි නාට්‍ය සඳහා ගැයුවේ එකම ගීතයක් පමණි. ලක්ෂ්මන් මල්ලවආරච්චි පද රචනය කළ, ස්ටැන්ලි ලියනගේ සංගීතවත් කළ “සැඩ සුළඟේ පාවී මල් පෙත්තක් වගේ” නම් වූ එම ගීතය “හිම කැදැල්ල” රූපවාහිනී නාට්‍යයේ ඇතුළත් විය.

“මල් කැකුළු” සහ “යළි හමුවන්නයි” චිත්‍රපටවල ගීත දර්ශනවල පෙනී සිටි මිල්ටන් ප්‍රසංග වේදිකාවේදී මෙන්ම සංයමයෙන් එම දර්ශන නිරූපණය කළේ ය. ඔහුගේ අදහස වූවේ “ගායකයා කියන්නේ නළුවෙකුට නොවේ ය” යන වගය.

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනෙක
අපි හමුවන්නයි...
(පද – බණ්ඩාර කේ.විජේතුංග)

සිය සහජ ගායන කුසලතාව ප්‍රතිභාවයෙන් භාවිතා කළ මිල්ටන් ගායන ශිල්පියෙකු වශයෙන් මෙන්ම මානව දයාවෙන් පිරි මිනිසෙකු වශයෙන් ද සංගීත ක්‍ෂේත්‍රයේ නියුතු සියල්ලන් අතරේ ජනප්‍රිය හිතවතෙක් වූවේ ය. ඔහු තරමට සිය සහෝදර ශිල්පීන්ට ආදරය කළ වෙනත් ගායන ශිල්පියෙකු පෞද්ගලිකව මා අත්දැක නොමැත. ඉන් එක් සිදුවීමක් හෝ මෙහිලා සටහන් කිරීම අගේ යයි සිතමි.

ම විසින් පද රචනය කළ “මේ දෙව් මැදුරෙ පුදසුන අබියස ඉඳ” ගීතය මුලින්ම ගායනයට මා දුන්නේ මිල්ටන්ට ය. එහෙත් වසර තුනක් පමණ ගතවී ගියත් ඔහු එය ගායනා කරන බවක් නොහැඟුණ හෙයින් පසුව එම ගීත පදමාලාව ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ හට ගායනයට දුන්නෙමි. ෂෙල්ටන් එම ගීතය පටිගත කළ සතියේම දිනෙක මිල්ටන්ගේ නිවෙසේදී ඔහු හමුවූ විටදී මම ඒ බැව් ඔහුට පැවසුවෙමි.

එවෙලේම ගෙතුළට ගොස් ගීත පදරචනා සහ ස්වර රචනා ලිපි අඩංගු ෆයිල් කවරයක් රැගෙන ආ මිල්ටන් එතුළින් මගේ “මේ දෙව්මැදුරෙ” ගීත පදරචනයත් ඊට සකස් කළ ස්වර රචනයත් සඳහන් කඩදාසි ගෙන මට දෙමින් “ලස්සන සින්දුවක්. මමත් හරි ආසාවෙන් මේ සැරේ කැසට් එකට කරන්න උන්නේ. ඒත් ෂෙල්ටන් කළා නම් මම මේක කරන එක හරි නැහැ.” යි පැවසුවේ හෘදයංගම කටහඬිනි. එදා ෂෙල්ටන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසියා පමණකි.

එහෙත් මිල්ටන් ට තම සහෝදර ශිල්පියා ප්‍රවීණ ද නවක ද ලොකු ද පොඩි ද යන වග වැදගත් වූවේ නැත. ඔහු සැමට එක ලෙස සැලකුවේය. ඔහුගේ එම යහගුණය ඉස්මතු වූ තවත් සිදුවීමක් මගේ මතකයට නැඟේ. ඒ වරක් ගණේමුල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකදී ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ.මිල්ටන් පෙරේරා සම්බන්ධ වූ සිද්ධියකි.

මිල්ටන් පෙරේරා ශිල්පියාණන් ඒ වන විට දැඩි අසනීප තත්ත්වයෙන් පසුවූ අතර එම ප්‍රසංගයේ ගී ගැයීමට අවස්ථාව පැමිණෙන තුරු ඔහු වේදිකාව පසෙකට වී බලා සිටියේ ය. වහාම ප්‍රසංගයේ සංවිධායකවරයා කැඳවූ මිල්ටන් සිය ප්‍රවීණ සහෝදර ශිල්පියා වෙනුවෙන් හඬ නැඟුවේය. “ඇයි මේ මනුස්සයාව මෙහෙම තියාගෙන ඉන්නේ?” ඊට සංවිධායකවරයාගේ පිළිතුර වූවේ කිසිදු ගායන ශිල්පියෙක් තමන්ගේ ‘වාරය’ මිල්ටන් පෙරේරාට පරිත්‍යාග කිරීමට එකඟ නොවන බවයි.

මිල්ටන් එවෙලේම තම වාරය සිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියා වෙනුවෙන් පරිත්‍යාග කර මිල්ටන් පෙරේරා වේදිකාව වෙත කැඳවාගෙන ගොස් ගී ගයන්නට අවස්ථාව උදාකර දුන්නේය. ඒ මිල්ටන් තුළ ජීවත් වූ මානව දයාවෙන් පිරි මිනිසා ය.

ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ මිල්ටන් මධු පානයට ද ලොල් වූ බැව් ඔහු ගැන දන්නා සැමට රහසක් නොවී ය.

විශේෂයෙන් ම බාලවියේ මව සමඟ වින්දා වූ දුක් වේදනාවන්ට නොදෙවැනි වන තරම් වේදනා මිල්ටන්ට උරුම කර දුන් සිටු කුමරියකට බැඳි පේ‍්‍රමයෙන් දායාද කර ගත් මධු පාන ලෝලීත්වයට ඔහුගේ ආධ්‍යාත්මයම කැප වුවේය.

මිල්ටන්ගේ ගීතයෙන් හෙළිවන වැලපෙන ආත්මයේ සත්‍යතාව එයම විය. ඒ සත්‍යතාව කලකට ඉහත සුනිල් මිහිඳුකුල සහෘදයාණන් විසින් අකුරු කළ අපූර්ව සටහනක් මා විසින් කියවන ලදී.

මිල්ටන් පිළිබඳව මා කියැවූ පරම සත්‍ය එහි සඳහන් වූ බැව් මගේ වැටහීමයි. මේ සමරු සටහන නිමා කරන්නට මෙතැන් සිට මම ඔබට එකී සත්‍ය සටහනින් කොටස් කිහිපයක් කියවමි.

”මා අසා ඇති පරිදි මිල්ටන් එක්තරා ආයතනයක සේවය කරද්දී එම ආයතනයේ හිමිකරුගේ දියණිය හා පෙමින් බැඳී ඇත. එහෙත් චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදින අවස්ථා ද ජීවිතයේ දක්නට ලැබේ. ඔවුන්ගේ ආදරයේ දුෂ්ටයා වූයේ පන්ති භේදය යි. ඇයට මිල්ටන් හා අතිනත ගන්නට ඇගේ දෙමව්පියෝ ඉඩ නොතැබූ හ.

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළ‍ෙඳ්...!
(පද - කේ.ඩී.කේ.ධර්මවර්ධන)

කෙසේ වෙතත් මිල්ටන් 1973 දී ස්වර්ණා හා විවාහ වූවේ ය. එහෙත් අවසන් සුසුම් පොද හෙළන තුරුම ඔහුගේ සිතේ මනෝරම්‍ය බිතු සිතුවමක් සේ රැඳුණේ කුලුඳුල් පෙම්වතියගේ (පෙර අප කී සිටු කුමරියගේ) ඡායාව යයි මට සිතේ. මිල්ටන් අසීමිත ලෙස මත්පැනට ඇබ්බැහි වූයේ ය.

ඔහු අකාලයේ මියගියේ බීමත්කමෙන් බව මා අසා ඇත. ඔහුගේ ජීවිතය දවා අළු කළේ විසම සමාජ ක්‍රමයේ වරදක් වන දුෂ්ට පන්ති භේදය නොවන්නේ ද? මුදල් පමණක් ජීවිතය කොට තැකූ ගතානුගතික ධන හිමි පන්තිය නොවන්නේ ද?

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණු තැන මා ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්...!
(පද – කරුණාරත්න අබේසේකර)

මිල්ටන් ඒ නැවතුණු තැන සිටන් මියයන තෙක්ම ගී ගැයුවේය. එය ඔහුගේ වැලපෙන ආත්මයේ ලසෝ ගීතය වූවේ ය.

මිල්ටන් මියගියේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. ඔහු තරුණ වියේදී රැකියාවක යෙදුණේ ද එම රෝහල අයත් සමූහ ව්‍යාපාරයේ ය. එම ව්‍යාපාර සමූහයටම අයත් රෝහලක ඔහු අවසන් හුස්ම හෙළීම දෛවෝපගත සිදුවීමකි.

මිල්ටන්ගේ මියුරු ගී හඬට වශීකෘත වූයේ හුදෙක් අපේ පරම්පරාව පමණක් නොවේ. ඇතැම් විට එදා පෙම්වතුන් වූ අපේ පරපුරේ අය පසුව විවාහ වී දරුමල්ලන් ද ලද කල්හි යොවුන් වියේ පෙම්වතුන් වූ ඒ දරුමල්ලන් ද මිල්ටන් ගේ ළයාන්විත ගී ඇසුවේ මහත් සේ ආශක්තවය. ඔවුන්ගේ ජීවිත ද රංජනය කිරීමට මිල්ටන් ගේ ගී හඬ සමත් වූයේ ය.”

-ජෝජ් රොබ්සන් ද සිල්වා

(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)
Share this article :

ඔබේ අදහස්