-->
දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසල ව හුන්
ඇගෙ ලිහිල්
කෙස් රොදක්
නිහඬ ව හමන
සුළඟින්
එසවී
මා මුහුණෙහි
හැපෙත් ම
ඇගේ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක්
පුලා පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.
මසකු හඬ නගා දගලූයෙන්
ගං ඉවුර අස
පන් ගසින් යුත්
බොර දිය කැළඹිණ.
ඈත ඉවුරෙහි
උසට වැඩුණු
මහා උණ පඳුරින්
අහසට නැඟුණු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා
ගියේය.
ඉක්බිති ව
මහා නිශ්ශබ්දතාවක් පැතිරිණ.
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුලපුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.
නිශ්ශබ්දතාව දැඩි විය.
පෙදෙස වසාගෙන පැතිරුණු
නිහඬ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කර බා ගතිමි.
-ජී.බී.සේනානායක
ඔබේ අදහස්