සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත් කඳුළක් ඉතිරි වෙලා...




'අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා....'

මේ ඉර සහ මේ හඳ හෙටත් පායනු ඇත. ඊයේ පෑව්වේත් මේ ඉර ම ය. මේ හඳම ය. අද ඔබට එළිය දෙන මේ ඉර හඳ ඔබ බිලිඳු වියේදීත් ඔබට එළිය ලබාදුන් ඉර හඳමය. ඔබේ කෙළිලොල් ළමා විය, සුන්දර යොවුන් විය ඒ සියල්ලම දෙස බලා සිටියේ මේ ඉර හඳම ය.

සිදුවන සියලු ම දේ වලට කවුරුන් නැතත් මේ ඉර හඳ සාක්ෂිය. දුර ඈතක මොන දේශයකට මොන රාජ්‍යයකට ගිහිල්ලා සැඟවිලා සිටියත් ඔබ දෙස බලා සිටින්නේත් මේ ඉර හඳම ය.

“කාලය’ නමැති මහා ජවසම්පන්නයා ගේ, මහා ජගතා ගේ අශ්ව රථයේ රිය සක දෙක මේ ඉර හඳ ය. ඉතින් එහෙව් ඉර යට දී හමුවී ආදරයෙන් කතා බහ කළ, සෙනේ වඩපු, ළඟ පාත හිටපු ඔබ අද දුර ඈත ය. ඒ සොබාදහමේ සැබෑ මහිමය ය.

~~ මේ ඉරහඳ යට හමු වී ~~

මේ ඉරහඳ යට හමු වී
ආදරයෙන්....
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ..//

අද නුඹ කොතැන ද අද මා කොතැන ද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී අත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලයෙ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා

ගායනය :- විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය :- පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය :- එම්.ආර්. චූලසිංහ

අපට ඇතැම් විට ඇතැම් කෙනකු දුටු විට සමීපස්ථ බවක් දැනෙයි. ප්‍රිය බවක් ඇතිවෙයි. කවදාක කොහේදි හෝ දැක පුරුදු බවක් සිත කියයි. එයින් පසු ඇති වන සබඳතා සොඳුරු මිනිස් ස්වභාවයය. ඇලීම් බැඳීම් ඇති මේ සොඳුරු සබදතා විවිධ ප්‍රභේද වලට අයත් වෙයි. ආදරය - දයාව කරුණාව ඇතැම් විට ප්‍රේමය බවට හැරෙයි.

ඔබත් මමත් එසේ සොඳුරු බැම්මෙන් බැඳී සිටියේ අතීතයේ දී ය. එවකට අපි පිබිදුණු දෑසින් එකිනෙකා දෙස බැලුවෙමු. එකිනෙකා ගේ හදවත්වලට එබී බැලුවෙමු. ඒ වගට මේ ඉර ද මේ හඳ ද සාක්ෂි ය. නමුත් කාලය සමඟ අප වෙන් වෙලා ය. ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඔස්සේ අපි වෙන වෙන ම ජීවන ගැටුම් හා සටන් වදින්නට පටන් ගත්තෙමු. අද මෙසේ දුරස් වූයේ එදා එසේ ළඟින් සිටි අප ම ය. හිතට දුක එක ය. ළඟින් නොසිටියා නම් දුරස් වන විට දුකක් නැත. ‘දුරස් දුක’ දැනෙන්නේ ළඟින් සිට සතුටක් ලද නිසා ය. ඇලීම් හා බැඳීම් නිසා මේ මිනිස් ජීවිතයේ සතුට ඇති වෙයි. ඇලීම් බැඳීම් බිඳී ගිය කල්හි ශෝකය ඇතිවෙයි. ඇලීම් බැඳීම් නොතිබුණා නම් හොඳ යැයි සිතෙන්නේ මුහුණට මුහුණ හමුවුණාමත් නාඳුනන දෙදෙනකු සේ සිටින්නට සිදුවුණු නිසා ය. නාඳුනන පෙම්වතුන් වීම තරම් සිත කඩා ඉහිරවන දෙයක් තවත් ලොව ඇත්දැයි එවිට ඔබට සිතේවි.

නමුත් ජීවිත කාලයේදී ලබන මේ ඇලීම් බැඳීම්වලින් ලැබෙන සුවයක් නෑලීම් සහ නොබැඳීම්වලින් ලබන්ට තරම් අප දියුණු වී නැත. ඒ මිනිසාගේ පෘතග්ජන ස්වභාවයය. දැන හඳුනාගත් කාලයේ ඉඳලා තිබුණු ඒ ළබැඳි දයාව, ඇලීම නිසා අප නෑඬුවත් සොබා දහම තුළට කඳුළක් ඉබේටම කාන්දු වෙනවා ඇත.

මේ නම් අපූරු ගීතයකි. මේ අපූරු ගීතය ඇසුව දා පටන් එය හදපත්ලටම යමක් දනවන ගතියක් ඇති ගීතයක් බව ඔබටත් සිතෙන්නට ඇත. ගීතයේ සුලමුල සොයා යන කල්හි මුණ ගැසෙන්නේ අපේ යුගයේ හෙළ ගීතාවලියේ ප්‍රමුඛතම තැනෙහි සිටින යතිවරයාණ කෙනෙකි. ඒ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ය.

“මේ ගීතය ලියැවුණේ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර. ප්‍රියයන් හා එක්වීම සතුටක්. වෙන්වීම දුකක්. අප්‍රියයන් හා එක්වීමත් දුකක්. ජීවිත කාලයේ දී මිනිසුන්ට මුහුණ පාන්ට සිදුවන බැඳීම් සහ වෙන්වීම් නිසා ඇති වන චිත්ත ස්වභාවය ගැනයි මේ ලියැවුණේ. අප අද බොහොම ළං වෙලා සුහදව ඇසුරු කරන අය හෙට දවස වෙනවිට වෙන් වෙනවා. දුරස් වෙනවා. මේ වෙනස්වීම දුරස්වීම් සිතට දුකක් ඇති කරවනවා. මේ ‘බැඳීම’ ප්‍රේමය යැයි හැඳින්වූවොත් හෙට දවසේ ඔවුන් දෙදෙනා නාඳුනන පෙම්වතුන්’ ලෙසිනුයි හමුවන්නේ. දැන හඳුනාගත් කාලයේ සිට තිබුණු ළබැඳියාව දයාව නිසා දුකක් උපදිනවා. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.”

පොදු මනුෂ්‍ය ස්වභාවය අවලෝකනය කරමින් උන්වහන්සේ ලියූ මේ ගීතය අපට ඉරහඳ පවතින තාක් කල් රස විඳිය හැකි ගීයක් බවට පත්වෙලා. එය සංගීතවත් කළේ ප්‍රවීණ සංගීතවේදී එම්.ආර්. චූලසිංහයන්. ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි.

ඉතින් ජීවිතය එකම සටනකි. ඊයේ කිරි දරුවකුසේ කිරි ඉල්ලා හැඬූ අපි, අද ජීවිතය ඉල්ලා හඬා ඒ වෙනුවෙන් සටන් වඳිමු. ඒ සටන මිහිරි සටනක් වන්නේ අතරමඟදී හමුවන ඔබ වැනි සුහද හදැතියන් නිසාම ය. ඔබේ සුහද බව සහ හෘදසක්ත බව වැඩි වූ තරමට හෙට දවසේ ඔබේ දුරස්ථවීම දුකක් බව මම දන්නෙමි. එනිසා ම හෘදසක්ත නොවී සිටින්නට ඔබට පුළුවන්ද?

බැඳීම් වලින් ලැබෙන සුවය තාවකාලික බවත් දුරස් වීමෙන් ලැබෙන ශෝකය පමණක් සදාකාලික බවත් මම කියමි. ඔබ ඊට එකඟ දැයි මා දන්නේ නැත. ඒ මේ ඉර හඳ යට අප ‘නාඳුනන පෙම්වතුන්’ වන බැවිනි.

-යමුනා මාලිනී පෙරේරා
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතින්)
Share this article :

ඔබේ අදහස්